කොළඹ ඓතිහාසික ඇළ මාර්ග

2-copy.jpg

    ඇළවල් හා ජලමාර්ග (canals and water ways) වියදම් අඩු ප්‍රවාහන ක්‍රමයක්‍, යන්න අනාදිමත් කාලයක සිටම ලොව බොහෝ රටවල ප්‍රචලිතව පැවති අදහසකි. විශේෂයෙන්ම, මේ සම්බන්ධයෙන් වඩාත් ප්‍රවීණත්වයක් දැරුවේ මුහුදු මට්ටමට වඩා පහත් හෝ නිතර ගංවතුරට ලක්වන රටවල වැසියන්‍ ය. ඒ අතරින් ඕලන්ද ජාතිකයන් හෙවත් ලන්දේසීන්ට හිමිවනුයේ අද්විතීය ස්ථානයකි. ඔවුන් සිය ජල විද්‍යාත්මක ඉංජිනේරුමය ක්‍රම (hydrolic engineering tachniques) සම්බන්ධ පරිචය ප්‍රයෝජනයට ගනිමින්, සිය යටත්විජිත රටවලද ඇල මාර්ග බිහිකිරීමට කිසිවිටෙකත් පසුබට නොවීය. දැනට ශ්‍රී ලංකාවේ බටහිර හා දකුණු දිග වෙරළබඩ ප්‍රදේශයෙහි දැකිය හැකි ඇළමාර්ගවලින් බොහෝමයක්ම එලෙස ලන්දේසීන් අතින් බිහි වූ ඒවා විය.
එසේ යටත් විජිත පාලන සමයේදී ඇළමාර්ග බිහිකිරීමේ ගෞරවය ලන්දේසීන්ට හිමිවුවද ශ්‍රී ලංකාවේ ජල කර්මාන්තයෙහි ඉතිහාසය බොහෝ ඈතට දිව යන්නකි. අනුරාධපුර, පොළොන්නරු යුගවලදී පැවැති විශිෂ්ට වාරිතාක්ෂණය ලන්දේසීන්ට කිසිවිටෙකත් සම කළ නොහැක්කකි. එසේම ප්‍රවාහන කටයුතු සදහා අභ්‍යන්තර ජලමාර්ග ප්‍රයෝජනයට ගෙන ඇති අවස්ථා පිළිබඳවද අපගේ සාහිත්‍යමය මූලාශ්‍රයන්ගෙන් තොරතුරු ලැබේ. ඇතැම් ඉතිහාස යන් සඳහන් කරන පරිදි, කෝට්ටේ සහ රයිගම ප්‍රදේශවල මුලින්ම ජල මාර්ග ඔස්සේ ප්‍රවාහන කටයුතු ආරම්භ කර ඇත්තේ සිංහල රජවරුය.
මේ කෙසේ වෙතත්, රට තුළ ප්‍රවාහන කටයුතු සඳහා භාවිතා කළ හැකි පරිදි ජලමාර්ග දියුණු කර ඇත්තේ ලන්දේසීන් විසිනි. මේ සඳහා වෑන් ඉම්හෝෆ් ආණ්ඩුකාරවරයා (1736-1740) නිල වශයෙන් මෙන්ම පෞද්ගලික වශයෙන්ද ඉමහත් පරිශ්‍රමයක් දරා ඇති බව පෙනේ. මෙසේ ලන්දේසීන් විසින් ඇළමාර්ග දියුණු කිරීම කෙරෙහි වඩාත් උත්සුක වී ඇත්තේ, වෙළඳ භාණ්ඩ, නිෂ්පාදන ප්‍රදේශවල සිට ලාභදායී ලෙස කොළඹ වරායට ප්‍රවාහනය කරවීමයි. ලන්දේසීන් පැමිණීමට පෙරාතුව පෘතුගීසින් විසින්ද කොළඹ හා ඒ අවට ඇල මාර්ග කීපයක් ආරම්භ කොට තිබූ අතර ලන්දේසීන් අතින් ඒවාද වැඩි දියුණුවට පත්විය.
    කොළඹ හා ඒ අවට ඇති ඇළ මාර්ග අතරින් පැමිණීම ඇළ මාර්ගයක් ලෙස, උතුරින් හැඳල දක්වාත්, දකුණින් බොල්ගොඩ ජලාශය හා කෝට්ටේ ජලාශය සම්බන්ධ වන අයුරින් බිහි කර ඇති ඇළමාර්ගය හැදින්විය හැකිය. ලන්දේසීන්ගේ වාර්තාවලට අනුව මෙය පෘතුගීසින් විසින් ඉදිකරන ලද්දකි. එසේම, කොළඹට උතුරින් කැළණි ගගේ සිට පමුණුගම කලපුව දක්වා ඉදිකර ඇති ඇළ මාර්ගයද පෘතුගීසින්ගේ නිර්මාණයක් බව එල්.ආර්.බ්‍රෝහියර් (L.R.Brohier-Links Between Sri Lanka and Netherlands) සඳහන් කරයි. පර්නාවෝ ඩී ක්වේරෝස් පියතුමා (Fr. Fern ao de Queyroz) – සිය, “Temporal and Spiritual Conquest of Ceylon" නම් ග්‍රන්ථයෙහි, මෙම ඇළ මාර්ගය වීර පරාක්‍රමබාහු රජුගේ නිර්මාණයක් ලෙස සඳහන් කර ඇති අතර ඒ, නිසැකයෙන්ම පලවන වීර පරාක්‍රමබාහු (1476-1489) රජු විය හැකි බව එච්. ඩබ්ලිව්. කොඩ්රින්ටන් (H. W. Codrington – Short History of Ceylone) සඳහන් කරයි. කෙසේ වෙතත්, ලන්දේසි වාර්තා අනුව මෙම ඇළද පෘතුගීසින් විසින් ආරම්භ කරන ලද්දකි. කොළඹ උතුරින් සාරවත්ව වෙල්‍යායක් ව පැවති මුතුරාජවෙල පුරන් වී ගියේද මෙම ඇළ මාර්ගය ඔස්සේ ගලා ආ මුහුදු ජලය නිසා බව සඳහන් වේ.
මේ පිලිබඳව තවදුරටත් තොරතුරු සොයා බැලීමේදී, 1614 – 04 – 23 වෙනි දින දොම් ජෙරෝනිමෝ ද අසවේදු Don Jeronimo de Azevedo විසින් මනුවෙල් මස්කර ස් හොමේම් MANOEL ජනරාල්වරයා වෙත යවන ලද ආ පත්‍රයකින් වැදගත් කරුණු රැසක්ම අනාවරණය කර ගත හැකි වේ.

පෘතුගීසි බසින් රචිත එම ලේඛනයෙහි, මෙම ඇළ මාර්ග පිළිබඳව සඳහන් වන ආකාරය ඇත. එහි සිංහල පරිවර්තනය මෙසේය.
“…… එහි (මීගමුවේ) සිට කොළඹට ඇති අභ්‍යන්තර “ගංගාවක්" නිසා කොළඹට භාණ්ඩ ප්‍රවාහනය ඉතා පහසු බැවින් හා නැව් වලින් ගොඩ බාන භාණ්ඩ ප්‍රවාහනය සඳහා පහසුවෙන් බෝට්ටු සපයාගත හැකි වන මීගමු වරාය ඉතා යෝග්‍ය එකක් ලෙස ගනු ලැබේ.
තවද අයහපත් කාළගුණය හා කුණාටු සහිත බව නිසා ඔබට කොළඹට ගොඩ බෑම අපහසු වුවහොත් කල්පිටියට යා හැකිය. මෙය ආරක්ෂිත වරායක් වන අතර ඊට ගග ඔස්සේම යා හැකිය. මෙය වඩාත් පහසුම ආරක්ෂිත මාර්ගයක් වන අතර බෝට්ටුවලින් හා කම්කරුවන්ගෙන් හිග නොවේ…..". කෙසේ වෙතත් මෙම ලේඛනයෙහි ‘ඇළ’ යන්න වෙනුවට ‘ගංගාව’ යන්න අර්ථවත් වන ‘rio’ යන වචනය යොදා තිබීම මතභේදයට තුඩු දෙන්න්කි. ‘rio’ යන්න ඇතැම් විට කලපුව සඳහාද යොදා තිබේ. එහෙත් කොළඹ සිට මීගමුව දක්වා විහිදෙන කලපුවක් නොමැති බැවින්ද ශ්‍රී ලංකාවේ ගංගා ව්‍යාප්ති රටාව අනුව කිසිදු ගංගාවක් වෙරළට සමාන්තරව නොවිහිදෙන බැවින් මෙහි ‘ගගක්’ ලෙස සඳහන් කර ඇත්තේ ඇළ මාර්ගයක් බව නිසැකය.
මීගමුවේ සිට කල්පිටිය දක්වාද මෙම ඇළ මාර්ගය විහිදී බවද සඳහන් කර තිබීම තවත් ගැටලු සහිත තැනකි. මන්දයත්, පුත්තලමේ සිට කල්පිටිය දක්වා කලපු තීරයක් විහිදෙන බැවින් ඇළ මාර්ගයක් අවශ්‍ය නොවන බැවිනි. ඒ, අනුව මෙම ඇළමාර්ගය කොළඹ සිට පුත්තලම දක්වා නිර්මාණය කර තිබී ඇති අතර, එතැන් සිට කල්පිටිය දක්වා කලපුව ඇළ මාර්ගයටම සම්බන්ධ කොට, එක් ජල මාර්ගයක් ලෙස ප්‍රයෝජනයට ගන්නට ඇතැයි සිතිය හැකිය.
   කොළඹ සිට පුත්තලම දක්වා සැතැපුම් 78ක් දිගැති ඉහත ඇළ මාර්ගය පිළිබඳව ඇතැම් ඉතිහාස න් සඳහන් කරනුයේ, මුලින් පෘතුගීසින් විසින් කොළඹ සිට මීගමුව දක්වා කොටස නිර්මාණය කර තිබූ අතර ලන්දේසීන් විසින් පුත්තලම දක්වා වූ කොටස සම්පූර්ණ කර ඇති බවයි. එහෙත්, ක්‍රි.ව 1614 වන විටත් මෙම සම්පූර්ණ ඇළ මාර්ගයම නිර්මාණය වී තිබූ බව ඉහත ලේඛන අනුව ප්‍රත්‍යක්ෂ වේ. ඒ අනුව, 18 වන සියවසේදී ලන්දේසීන් මෙම ඇළ මාර්ගය තවදුරටත් නවීකරණය කර ඇති බව පෙනේ. ඒ සමගම, කොළඹ හා පුත්තලම අතර ප්‍රදේශයෙහි ගංගා, කලපු සම්බන්ධ කරමින් සැතැපුම් 120ක පමණ ඇළවල් සංඛ්‍යාවක්, වෑන් ඉම්හෝෆ් ආණ්ඩුකාරවරයාගේ මූලිකත්වයෙන් ඉදිකරන ලද බව සඳහන් වේ.
කෝට්ටේ සිට කිරුලපන හරහා නැදිමාලටත්, ඉන් පසුව බොල්ගොඩ ජලාශයටත් විහිදෙන ඇළද පෘතුගීසින් විසින් නිර්මාණය කරන ලද්දක් වන අතර පසුව එය කෝට්ටේ සිට සැලසුම් කළද එහි වැඩ කටයුතු අවසන් කළ නොහැකි වී තිබේ.
පෘතුගීසි හා ලන්දේසි යුගවලදී කොළඹ හා ඒ අවට ජල කර්මාන්තය ගැන කතා කිරීමේදී බේරේ වැවද විශේෂයෙන්ම සඳහන් කළ යුත්තකි. මුලින් කුඩා වැවක් ලෙස මෙය ඉදිකර ඇත්තේ 1521 දීය. ඒ, පෘතුගීසි බලකොටුව හා කොළඹ නගරය ගොඩබිම දෙසින් එන සතුරු ආක්‍රමණ වලින් ආරක්ෂා කර ගැනීම සඳහාය.
මෙම වැව බේරේ වැව ලෙස වඩාත් විශාල කර නිර්මාණය කොට ඇත්තේ ලන්දේසීන්ය. මේ කාර්‍යයෙහහිලා ඩී බියර් (D-Beer) නම් ලන්දේසි ජාතික ඉංජිනේරුවකු ප්‍රමුඛත්වය ගෙන ඇති අතර ඒ අනුව ඔහුගේ නමින්ම මෙම වැව නම් කර තිබේ. ආරම්භයේදී මෙම වැවෙහි ප්‍රමාණය (lake area) අක්කර 400 ක් වී තිබේ. එහෙත් පසුව , නොයෙකුත් අවශ්‍යතා සඳහා ගොඩකරන ලදුව, දැනට මෙහි ප්‍රමාණය හෙක්ටයාර් 65.4 දක්වා අඩු වී තිබේ. පෘතුගීසි හා ලන්දේසි යුගවලදී සෙබළුන් හා භාණ්ඩ ප්‍රවාහන කටයුතු සිදුව ඇත්තේ මෙම වැව ඔස්සේය.
මුල්කාලීනව, බේරේ වැව හා සම්බන්ධවද ඇළ මාර්ග කීපයක් නිර්මාණය වී තිබී අතර දැනට ඉන් ඉතිරිව ඇත්තේ එකක් පමණි.
ඒ ‘සාන්ත බස්තියම්’ ඇළයි. එම ඇළ පෘතුගීසි බලකොටුවට පහරදීම් සඳහා වැව හිස් කිරීමට 1 වන රාජසිංහ රජු විසින් කරවන ලද්දකි. මේ සඳහා හේවාගම් කෝරළයේ ජනතාව සම්බන්ධ වී ඇති බව සඳහන් වේ.

මෙම ඇළ මාර්ග ඔස්සේ ප්‍රවාහන කටයුතු කිරීම සඳහා ප්‍රධාන වශයෙන් ප්‍රයෝජනයට ගන්නා ලද්දේ ඔරු හා පාරුය. මේ අතරින් භාණ්ඩ ප්‍රවාහනය සම්බන්ධයෙන් වඩාත් වැදගත් යාත්‍රාව වූයේ පාරුවයි. බොහෝ ඉඩක් හා ආරක්ෂාවක් ඇතිව සකසා ඇති මෙම පාරුවලින් තේ, රබර් , පොල්, වැනි කෘෂි නිෂ්පාදන කොළඹ වරාය කරාත්, ලුණු, ගඩොල්, උළු, ලී, වැනි දේ රට අභ්‍යන්තරයටත් ප්‍රවාහනය කෙරිණි. පොල් අතු වහලක් සහිත මෙම පාරු විශේෂය, ලන්දේසීන් විසින් මෙරටට හදුන්වා දෙන ලද්දකැයි පැවසේ. හබල් ගෑමෙන් හෝ දිග රිටිවලින් පැදීමෙන් හෝ ඉවුරේ සවිකළ කණු වල බැදි කම්බි වලින් යත්‍රා කෙරිණි. ආහාරපාන පිළියෙළ කර ගැනීමද පාරුව මත දීම සිදුවූ අතර පාරු නතර කර තැබීම සඳහා නිශ්චිත නැවතුම් පොලවල්ද විය.
1940 ගණන් වන විට,දුම්රිය හා මහාමාර්ග ප්‍රවාහන කටයුතු වැඩි දියුණු වීම නිසා, ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් ඇළමාර්ග සතු වූ වැදගත්කම ක්‍රමයෙන් අඩු වන්නට විය. ඒ අනුව, රට තරගකාරී ලෙස ඇළ මාර්ග ප්‍රවාහනය පවත්වාගෙන යාමට නම් ඇළමාර්ග වල ඉවුරු පිළිසකර කර, යාන්ත්‍රිකව ධාවනය කෙරෙන යාත්‍රා උපයෝගී කොටගත යුතු බවට අදහස් ඉදිරිපත් විය.
මේ අතර 1970 ගණන් වලදී ඇළ මාර්ග කීපයක් පුනරුත්ථාපනය කිරීම සඳහා අවධානය යොමු කෙරුණු අතර ඉන් ප්‍රමුඛත්වය හිමිවූයේ කොළඹ පුත්තලම ඇළ මාර්ගයටයි. එහෙත් මේ පිළිබඳව ප්‍රවාහන ආර්ථික ශක්‍යතාව තක්සේරු කරනු පිණිස, 1981 දී මෙහි පැමිණී නෙදර්ලන්ත ප්‍රවාහන ආර්ථික දෙදෙනාගේ නිගමනය වූයේ දුම්රිය මහාමාර්ග වැනි දියුණු කළ යුතු වෙනති ප්‍රවාහන ක්‍රම තිබියදී ඇළමාර්ග ප්‍රවාහන කටයුතු පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම අකාර්යක්ෂම කාර්‍ය්යක් බවත්, ඒ අනුව කොළඹ පුත්තලම ඇළමාර්ගයෙහි ඉදිරි වැඩ කටයුතු සියල්ද අත්හිටුවිය යුතු බවත්‍ ය.
ප්‍රවාහන ආර්ථික විද්‍යාත්මකව එසේ අවධානයෙන් ගිලිහී ගිය අංගයක් වුවද ශත වර්ෂ ගණනාවක් මුළුල්ලේ ප්‍රවාහනයට උරදුන් මෙම ඇළමාර්ග ඓතිහාසික වශයෙන් අපට කිසිසේත් අමතක කළ නොහැකි මාහැඟි පුරාවිද්‍යාත්මක ස්මාරක ලෙස හැදින්විය හැකිය.

Sending
User Review
0 (0 votes)

Share this post

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top