චීන මහා ප්‍රාකාරයේ සවාරියක්

Annotation-2020-10-25-152151.png

“සඳ මත සිට පෘථිවිය දෙස බැලූ විට,කඳු හා නිම්න අතරින් දැකිය හැකි එකම ස්වභාවික නොවන වස්තුව චීන මහා ප්‍රාකාරය” යැයි කියමනක් ඇත. එහි නිරවද්‍යතාවය දැන ගත හැක්කේ සඳට ගිය කෙනෙකුට පමණි.එහෙත්,ලොව පුදුම හතෙන් එකක් වන චීන මහා ප්‍රාකාරය අද්විතීය මිනිස් නිර්මාණයක් බව ඉතා පැහැදිලිය.කහ ගංගාව ආශ්‍රිතව ගොඩනැගුණු ඉපැරණි ශිෂ්ටාචාරයේ ශ්‍රී විභූතියත්,චීන ජාතියේ විශිෂ්ට ශක්තියත් එමගින් පිළිබිඹු කෙරේ.

ජවහල්ලාල් නේරු,රිචඩ් නික්සන්,රොනල්ඩ් රේගන් හා බැරක් ඔබාමා වැනි චීනයට පැමිණි විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයින් “බඩාලින්” හි සංචාරය කර තිබේ.මහා ප්‍රාකාරය දැක ගැනීමේ අරමුණින් වාර්ෂිකව චීනයට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය මිලියන ගණනකි.

මහා ප්‍රාකාරය මත පා තැබීමේ ආශාව මා තුළ ඇති වූයේ චීනයට පැමිණීමට බොහෝ පෙර සිට ය.කොරොනා වසංගතය හේතුවෙන් එය යථාර්ථයක් බවට පත් කර ගැනීම ප්‍රමාද විය.ලබන මාසයේ එළඹෙන සීත ඍතුවට පෙර කෙසේ හෝ චීන මහා ප්‍රාකාරය නැරඹිය යුතු යැයි සිතා ගතිමි.

බෙයිජිං අගනුවරට ආසන්නව චීන මහා ප්‍රාකාරයේ නැරඹිය හැකි වඩාත් ම ආකර්ශනීය ස්ථානය “බඩාලින්” (Badaling) කොටසයි.එය නගර මධ්‍යයේ සිට කි.මී.70 පමණ දුරින් පිහිටා ඇත.මා නැවතී සිටින ස්ථානයේ සිට එහි යාමට නම් දුම්රිය දෙකක ගමන් කර ඉතිරි කොටස බස් රථයෙන් යා යුතුය.සංචාරක මග පෙන්වන්නෙක් සමග පැකේජයකට ඇතුලත් වී එහි යාම අනෙක් විකල්පයයි.එහිදී සම්පූර්ණ පිරිවැය තනිව දරා ගැනීමට සිදුවීම, මා ඒ කෙරෙහි උනන්දු නොවීමට හේතුවයි.

මට චීන බස කතා කිරීමට නොහැකි වීමත්,මගතොට දී හමුවන බොහෝ දෙනා චීන බස පමණක් කතා කිරීමත්, බෙයිජිං හි ගමන් බිමන් යාමේ දී මා මුහුණ දුන් අභියෝගයයි.නුහුරු ප්‍රදේශයක සංචාරය කිරීමේදී එය තදින් දැනිය හැකිය.

“බඩාලින්”ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාර්ගෝපදේශකත්වය ලබා දුන්නේ මගේ කාර්යාලයේ චීන ජාතික මිතුරිය සුරම්‍යායි.ඇය මට ලබා දුන් සටහනේ දුම්රිය ස්ථානයෙන් පිටවීමේ දොරටුව කුමක්ද යන්න පවා සඳහන් විය.ගමනට කලින් දා ෂං ලී, “බඩාලින්” කාර්යාලයට දෙවරක්ම ඇමතුම් ලබා දෙමින් මගේ ගමනට අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම ලබා දුන් අයුරු මට මතකය.

චීන මහා ප්‍රාකාරයට නැගීම සඳහා දැඩි අධිෂ්ඨානයෙන් යුතුව උදෑසනම මා නිවසින් පිටත් වූයේ, අව්වට වැස්සට තිබහට බඩගින්නට සියලු දේ පිටේ බැඳගෙනය.

සුරම්‍යාගේ මාර්ග උපදෙස් හරියටම අනුගමනය කිරීම මට පහසු වූයේ බෙයිජිං උමං දුම්රිය මාර්ග පද්ධතියේ මගී උපදෙස් මැනවින් සටහන් කර තිබීම නිසයි.මිලියන 22 ජනගහනයක් සහිත බෙයිජිං නගරයේ උමං දුම්රිය පද්ධතියේ සියලු දුම්රිය ස්ථානවල එකම රටාවකට මාර්ගෝපදේශ සංඥා සලකුණු කර තිබේ.පිවිසුම් දොරටුවකින් ගමන් කළ හැකි ප්‍රසිද්ධ ස්ථාන ද එහි සඳහන්ය.මුල් වරට එහි පැමිණෙන මගියෙකුට වුවද එම සඥා නිවැරදිව අනුගමනය කරමින් අවශ්‍ය ස්ථානයට ළඟා විය හැකිය.දුම්රිය මාර්ග සිතියම සෑම මැදිරියකම මෙන්ම දුම්රිය ස්ථානවල ද සටහන් කර තිබේ.

දුම්රිය දෙකකින් “ජීෂුටාන්” (Jishuitan) වෙත ගිය මම තවත් මීටර් කිහිපයක් නැගෙනහිර දෙසට පයින් ඇවිද ගොස් “ ඩෙෂංමන්” (Deshengmen) වෙත ළඟා වුනෙමි.සුරම්‍යා කියු පරිදි “බඩාලින්” යන බස් රථය සොයා ගැනීම මට අපහසු නොවීය.බෙයිජිං නගරයේ කොරොනා පාලනය ක්‍රියාත්මක බැවින් මට ඊට ගොඩවීමට ලැබුණේ උෂ්ණත්ව පරීක්ෂණයකට පසුවයි.

හරිටම පැයයි විනාඩි පහළොවකට පසු බස් රථය චීන මහා ප්‍රාකාරයේ “බඩාලින්” පිවිසුම අසළ නතර කෙරිණ.බස් රථයේ කාර්ය මණ්ඩලයට අයත් කාන්තාවක් පැමිණි සියලු මගීන්ට උපදෙස් ලබා දුන්නද චීන බසින් කී ඒ කිසිවක් මට නොවැටහිණ.

ක්‍රමයෙන් ඉදිරියට ගිය මට දකින්නට ලැබුණේ සංචාරකයින් සඳහා සියලු උපදෙස් ඊතල සහිතව එහි ඉංග්‍රීසි බසින් සටහන් වී ඇති බවයි.ප්‍රවේශපත් කවුළු මෙන්ම සාප්පු සහ ආපනශාලා රැසක් ද එහි විය.මනස්කාන්ත ලෙස කළමනාකරණය කර තිබූ එම කදුකර පරිසරය ගිමන් හැරීමේ ආසන සහ වැසිකිළි පහසුකම් වලින් සමන්විතයි.

මා වැනි විදේශිකයින් දක්නට නොවුව ද, චීන ජාතිකයින් විශාල වශයෙන් එහි පැමිණෙමින් සිටි බව දක්නට ලැබිණ.

මා ගමන ඉක්මන් කළේ සෙනග අතරින් ප්‍රාකාරයට ඇතුළු වීමට දිගු පෝලිම් ඇතැයි සිතූ බැවිනි.

ඊතල ඔස්සේ ඉදිරියට ගිය මට ආරක්ෂක කවුළු දක්වා දිවෙන දිගු පෝලිම් දක්නට ලැබිණ.මා සිතුවේ පැය ගණන් රස්තියාදු වන්නට සිදු වනු ඇති බවයි.

දහසක පමණ පිරිසක් ආරක්ෂක කවුළු තුළින් ඇතුළු කරවන්නට ගත වූයේ විනාඩි කීපයක් පමණි.සියලු පරීක්ෂණ තාක්ෂණික ලෙස සිදු කෙරේ.සංචාරකයින්ට කිසිදු බාධාවකින් තොරව එය පසු කර යා හැකිය.

ප්‍රවේශපත්‍ර පරීක්ෂා කෙරෙන්නේ ද තාක්ෂණික ක්‍රම මගිනි. QR කේතය ස්කෑන් කිරීම මගින් සංචාරකයා හඳුනා ගැනීම සිදු කෙරේ.

පහළ සිට බඩාලින් ප්‍රාකාරය දෙස බැලූ විට මට සිහිවූයේ සීගිරියයි.පයින් ගමන් කිරීම සඳහා මාර්ගය ඉතා ආරක්ෂිත ලෙස සකස් කර තිබේ.

අවශ්‍ය නම් ප්‍රාකාරයේ ඉහළම ස්ථානයට ගමන් කිරීම සදහා කේබල් කාරයක් (Cable Car) හෝ කප්පි කාරයක් (Pulley) අමතර මුදලක් ගෙවා ලබා ගත හැකිය.

චීන සංචාරකයින් සමග පෙළට ගමන් කළ මා කේබල් කාරයක නැගී උතුරු ප්‍රාකාරයේ 7 වන මුර කුටිය වෙත ගියෙමි.

සතුරු ආක්‍රමණ නිරීක්ෂණය කිරීමේ කවුළු සහ මුර කුටි චීන මහා ප්‍රාකාරයේ තැනින් තැන පිහිටුවා ඇත. මෙම කොටසේ ප්‍රාකාරයේ සාමාන්‍යය උස අඩි 26  සහ පළල අඩි 20 ක් පමණ වේ. අශ්වයන් පස් දෙනෙකුට හෝ සෙබළුන් දස දෙනෙකුට ඒ මත වේගයෙන් ගමන් කළ හැකිය. ප්‍රාකාරය ඉදිකිරීමේ මූලික අරමුණ වූයේ උතුරුදිග ප්‍රදේශයට “සියොංනු” (Xiongnu) ගෝත්‍රිකයින්ගෙන් එකල එල්ලවූ  ආක්‍රමණික තර්ජන වලින් ආරක්ෂා වීමයි.

7 වන මුර කුටියේ සිට 8 වන මුර කුටිය දක්වා මම ප්‍රාකාරය මත පයින් ඇවිද්දෙමි. තරමක් ආනත මාර්ගයක් වුවත් ආරක්ෂාව සඳහා දෙපසෙහිම අත්වැල් ඇත. 8 වන මුර කුටිය “බඩාලින්” කොටසේ උසම ස්ථානයයි.එතැනින් එහා 12 වැනි කුටිය තෙක් ගමන් කිරීම තරමක් දුෂ්කරය.

8 වන මුර කුටියේ සිට ප්‍රාකාරය මතින් පහළට ගමන් කිරීම ශ්‍රී පාද වන්දනාවෙන් පසු පහළට කරුණා කරන්නාක් මෙනි.අතරතුර හමුවන මුර කුටි තුළට රිංගා ඡායාරූප ගැනීමට ද කිසිදු බාධාවක් නැත.

කඳුකර ප්‍රදේශයක් වුවද සංචාරකයින් සඳහා සියලු පහසුකම් එහි සලසා තිබේ.අවට පරිසරය මැනවින් සුරක්ෂිත කිරීම එහි කැපී පෙනෙන ලක්ෂණයකි.

සැතපුම් 13,171 ක දිගකින් යුක්ත මහා ප්‍රාකාරය චීනයේ බටහිර පිහිටි “ජියායුගුවාන්” (Jiayuguan) කඳුකරයේ සිට නැගෙනහිර “ලියාඕනිං පළාතේ” (Liaoning Province) “හුෂාන්” (Hushan) කඳුකරය දක්වා වැටී ඇත.එය ඉදිකිරීම මුලින්ම ආරම්භ කර ඇත්තේ “චින් රජ පෙළපතේ” නිර්මාතෘවරයා වන “චී ෂී හ්වාං” (Qin Shi Huang) අධිරාජයා විසිනි.ඒ ක්‍රි.පූ 221 දී පමණ ය.ඔහු චීනය එක්සත් කළ පළමු අධිරාජයා ද වේ.

කෙසේ වෙතත් පසුව පැමිණි අධිරාජයන් කිහිප දෙනෙකු විසින් මහා ප්‍රාකාරයට විවිධ කොටස් එක් කරමින් එය සම්පූර්ණ කර තිබේ.කැඩී බිඳී යාමෙන් පසු වර්තමානයේ චීන මහා ප්‍රාකාරයේ දැකිය හැකි බොහෝ කොටස් ඉදි කර ඇත්තේ “මිං රජ පෙළපතට” (ක්‍රි.ව.1368 – ක්‍රි.ව.1644 ) අයත් අධිරාජයන් විසිනි.

“බඩාලින්” හි උතුරු කොටසේ සංචාරයට මට ගත වූයේ පැය තුනක පමණ කාලයකි. දකුණු කොටසට යන්නේ නම් තවත් එවැනිම කාලයක් ගත වේ.

විවිධ අවස්ථාවල ප්‍රතිසංස්කරණයට ලක් කෙරුණ ද චීන මහා ප්‍රාකාරයේ බොහෝ කොටස් වසර දහස් ගණනක් පැරණිය. කඳු හෙල් මතින් වැටී ඇති සැතපුම් 13,171 ක් දිගැති මෙම ප්‍රාකාරය ඉදිකිරීමට අද යුගයේ වුවද දශක ගණනාවක් ගත වනු ඇති බව මගේ විශ්වාසයයි.එහෙත් මෙහි ඉදි කිරීම් ආරම්භ වී ඇත්තේ ක්‍රිස්තු පූර්ව යුගයේ වීම,චීන ජාතියේ අද්විතීය ශක්තිය පිළිබඳ කදිම සාක්ෂියකි.

Mothilal Hissella

ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධරයෙකු වන මෙන්ම ජර්මනියේ බර්ලින් නුවර IIJB ආයතනයේ රූපවාහිනී සන්නිවේදනය පිළිබඳ ඩිප්ලෝමා ලාභියෙකි. ඔහු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ කැමරාශිල්පියෙකු හා ප්‍රවෘත්ති නිෂ්පාදකයෙකු ලෙස වසර 27ක් මාධ්‍ය වෘත්තියේ නියැලී සිටියේය. දැනට චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල සේවයේ උපදේශකයෙකු ‍ලෙස ඔහු බෙයිජිං අගනුවර සේවය කරයි.

Share this post

    Mothilal Hissella

    Mothilal Hissella

    ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධරයෙකු වන මෙන්ම ජර්මනියේ බර්ලින් නුවර IIJB ආයතනයේ රූපවාහිනී සන්නිවේදනය පිළිබඳ ඩිප්ලෝමා ලාභියෙකි. ඔහු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ කැමරාශිල්පියෙකු හා ප්‍රවෘත්ති නිෂ්පාදකයෙකු ලෙස වසර 27ක් මාධ්‍ය වෘත්තියේ නියැලී සිටියේය. දැනට චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල සේවයේ උපදේශකයෙකු ‍ලෙස ඔහු බෙයිජිං අගනුවර සේවය කරයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top