Aandrew Caballero-Reynolds | AFP | Getty Images
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොරොනා වෛරස් සහන සහ වියදම් පැකේජ පනතට අත්සන් තබා ඇති අතර ඒ සමඟ රජයේ කටයුතු අර්ධ වශයෙන් ඇණහිටීමේ අවදානම වැළකී ගියේය.

GETTY IMAGES
ට්‍රම්ප් මුලින් පනතට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර තිබුණේ මිනිසුන්ට විශාල වශයෙන් එකවර මීට වඩා වැඩි ගෙවීමක් සිදු කළ යුතු බව පෙන්වා දෙමින් ය.
එම ප්‍රමාදය නිසා මිලියන සංඛ්‍යාත ඇමරිකානුවන්ට තාවකාලිකව විරැකියා ප්රතිලාභ අහිමි විය.
ඩොලර් බිලියන 900 ක් වටිනා සහන පැකේජය කොන්ග්රසය විසින් මාස ගණනක සාකච්ඡාවලින් පසුව අනුමත කරන ලදී.
එය සාමාන්‍ය ෆෙඩරල් රජයේ වියදම් සඳහා ඩොලර් ට්‍රිලියන 1.4 ක් ඇතුළත් ඩොලර් ට්‍රිලියන 2.3 ක වියදම් පැකේජයක කොටසකි.
ට්‍රම්ප් සඳුදා මධ්‍යම රාත්‍රිය වන විට පනතට අත්සන් නොකළේ නම්, අර්ධ වශයෙන් රජය වසා දැමීම ආරම්භ වීමට ඉඩ තිබිණ.
ඇමරිකානුවන් මිලියන 14 ක් පමණ විරැකියා ප්රතිලාභ ගෙවීම් සහ නව උත්තේජක මුදල් හිඟයකට මුහුණ දුන්හ. විරැකියා ප්රතිලාභ දැන් යථා තත්ත්වයට පත් කෙරේ.
ෆ්ලොරිඩාවේ සිටින ට්‍රම්ප් අවසානයේ දී පනතට අත්සන් කිරීමට තීරණය කළේ මන්දැයි තවමත් නොපැහැදිලිය. ඔහු කොන්ග්රස් මණ්ඩලය තුළ රිපබ්ලිකන් සහ ඩිමොක්රටික් යන දෙපාර්ශවයෙන් ම දැඩි පීඩනයකට ලක්ව සිටියේය.
රිපබ්ලිකන් සෙනෙට් සභික පැට් ටූමි පැවසුවේ “අවුල් සහගත, අවාසනාවන්ත හා අශෝභන හැසිරීම්" හේතුවෙන් ජනාධිපතිවරයා ජනතාවගේ මතකයේ සදා රැඳී සිටීමේ අවදානමකට මුහුණ පා සිටින බවයි.
ට්‍රම්ප් දිගින් දිගටම පනතට අත්සන් කිරීම ප්‍රමාද කළහොත් “විනාශකාරී ප්‍රතිවිපාක” සිදුවිය හැකි බවට එක්සත් ජනපද ජනාධිපති ලෙස තේරී පත්ව සිටින ජෝ බයිඩන් ද අනතුරු අඟවා තිබිණ.