බ්‍රිතාන්‍ය කටුගෙයි කිරිගරුඬ ප්‍රතිමා ආපසු ග්‍රීසියටම යයිද?

0.jpg

පාතීනන් මුර්ති කර්ම වසර 200 කට අධික කාලයක් ලොව බෙහෙවින් ආන්දෝලනයට තුඩුදී පැවැති කලා කෘතියකි. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්ව යාමත් සමඟ මෙම මුර්ති කර්ම යළි සියරටට ගෙන්වා ගැනීම කෙරෙහි ග්‍රීසියේ අවධානය යොමුව තිබේ. 

පාතීනන් මාබල්ස් නොහොත් එල්ජින් මාබල්ස්

ග්‍රීසිය තුළ “පාතීනන් මාබල්” යනුවෙන් ද, බ්‍රිතාන්‍යයේ “එල්ජින් මාබල්” ලෙස ද හඳුන්වනු ලබන මෙම කලා නිර්මාණය පිළිබඳ අර්බුදය කුමක් ද?

එල්ජින් මාබල් යනු ඇතැන්ස් නගරයේ පිහිටි ක්‍රිස්තු පූර්ව 5 වන ශතවර්ෂයට අයත් කිරිගරුඬ පාෂාණයෙන් නිමවන ලද කෞතුක වස්තු සමූහයකි. ප්‍රඥාවට අධිගෘහිත වූ ඇතීනා නම්වූ දෙවඟන උදෙසා කළ පාතීනන් නමැති දේවස්ථානයේ මෙම අගනා කලා නිර්මාණ පිහිටා තිබේ. මුර්ති කර්ම, සෙල්ලිපි සහ වාස්තු විද්‍යාත්මක අංග ගණනාවක් ඊට ඇතුළත් ය. 

වසර 1799 සිට 1803 දක්වා කොන්ස්තන්තිනෝපල් හි බ්‍රිතාන්‍ය තානාපතිවරයා ලෙස කටයුතු කළ තොමස් එල්ජින් සාමිවරයා ඔටෝමානු අධිරාජ්‍යයේ අවසරය මත මෙම පුරාවස්තු සමූහය එම ස්ථානයෙන් ඉවත් කොට මුහුදු මගින් බ්‍රිතාන්‍යයට ප්‍රවාහනය කරනු ලැබීය.

විසින් 1800 සියවස මුළ බ්‍රිතාන්‍යයට රැගෙන එන ලද මෙම අගනා කලාකෘතිය – මෙය පාතීනන් මාබල් ලෙස ලොව පුරා ජනප්‍රියව පවතී – එවක් පටන් අවධානයට මෙන්ම මතභේදයට ද හේතුව පවතී. මුල්වරට 1807 වසරේ ලංඩන් අගනුවරදී මහජන ප්‍රදර්ශනය සඳහා තැබුණු මෙම කලා කෘතිය 1817 වසරේ සිට ලංඩන්හි පිහිටි තම නව නිවහන බවට පත් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පැවති විවාදයකින් පසු මෙම කිරිගරුඬ කලා නිර්මාණ සමූහය මිලදී ගැනීමට බ්‍රිතාන්‍ය කෞතුකාගාරය 1816 වසරේ දී ඉදිරිපත්වූ අතර පසුව ඒවා එම කෞතුකාගාරයට පරිත්‍යාග කෙ‍රිණ. ශතවර්ෂ දෙකකට පසු මෙම පාතීනන් මාබල් මුර්ති කර්ම බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ වඩාත් ජනප්‍රියතම ප්‍රදර්ශන භාණ්ඩයක්ව පවතී. 

එල්ජින් මෙම මුර්ති කර්ම බ්‍රිතාන්‍යයට රැගෙනයාම සම්බන්ධයෙන් ග්‍රීසිය තුළ දැඩි විරෝධයක් පවතී. “මාගේ දැක්මට අනුව, පාතීනන් මුර්ති කර්ම සංස්කෘතික දේපොල, අයිතිය සහ කලා කෘතීන්හි අයිතිය හිමිවිය යුත්තේ කාටද යන්න පිළිබඳ ගැටළු ගණනාවක් මතු කරයි”, එංගලන්තයේ කේම්බ්‍රිජ් සරසවියේ සම්භාව්‍ය සංස්කෘතීන් පිළිබඳ මහාචාර්ය මේරි බියර්ඩ් පවසයි. 

බැලු බැල්මට මෙය ග්‍රීසිය සහ එංගලන්තය අතර ගැටළුවක් ලෙස පෙනී ගියද, අතීත යුගවලට අයත් පුරාවිද්‍යා ස්ථාන සහ කලා කෘතීවල අයිතිය පිළිබඳ සනාතන ගැටළුවේ එක් අවස්ථාවක් එමගින් පිළිබිඹු කෙරේ. ආර්ථික හා දේශපාලන බලයෙන් හෙබි, බටහිර, කාර්මීකරණයට ලක්වූ රටවලින් පැමිණෙන ඕනෑම පුරාවිද්‍යඥයෙකුට ලොව ඕනෑම ප්‍රදේශයට පිහිටි පුරාවිද්‍යා ස්ථානයක් කැණීමට ලක්කිරීමටත්, එහිදී හමුවන ඕනෑම පුරාවස්තුවක් හෝ කලා කෘතියක් කිසිවකුගේ අවසරයකින් තොරව තම රටට රැගෙන යාමේ අයිතියක්
පැවති අවදියක් අතීතයේ තිබිණ. කෙසේවෙතත්, දෙවන ලෝක සංග්‍රාමයෙන් අනතුරුව නිදහස ලැබූ පැරණි යටත් විජිත තම අතීත උරුමයන් තම පරම අයිතියක් ලෙස සැළකීමට උත්සුක වීමත් සමඟ මේ‍ තත්වයේ වෙනසක් සිදුවිය. ඒ සමඟ අධිරාජ්‍යවාදී යුගයන්හිදී බටහිර කෞතුකාගාර විසින් අත්පත් කරගත් ඉපැරණි කලාකෘතී යළි ඒවායේ මුල් නිජබිම් වෙත භාරදිය යුතු ද යන ගැටළුව පැන නැඟිණ.

බ්‍රිතාන්‍ය කෞතුකාගාරය තුළ විශේෂයෙන් ඉදිකරන ලද “ඩූවින්” ගැලරියෙහි මෙම කලා නිර්මාණ තැන්පත් කොට තිබේ. වෙනත් රටකට අයත් පුරාවස්තු සමූහයක් යටත් විජිත යුගයේදී ගලවා ඉවත් කොට ගෙන විදේශ කෞතුකාගාරයක මෙලෙස තැන්පත් කොට තිබීම කෙතෙක් දුරට නීත්‍යානුකූල ද යන්නත්, මෙම කිරිගරුඬ කලා නිර්මාණ සමූහය තවදුරටත් බ්‍රිතාන්‍යය කෞතුකාගාරය තුළ තිබිය යුතු ද, නැතහොත් ඒවා ආපසු ග්‍රිසියට බාර දිය යුතු ද යන්නත් පිළිබඳ උණුසම් විවාද පවතී.

මෙම ප්‍රතිමා ආපසු තම රටට බාර දෙන ලෙස ග්‍රීක රජය නිරන්තරයෙන් ඉල්ලා සිටිය ද, බ්‍රිතාන්‍ය කෞතුකාගාරය එම ඉල්ලීම් තරයේ ප්‍රතික්ෂේප කරයි. ඒ අනුව මෙම කෞතුක වස්තූන් පිළිබඳව පවතින ගැටළුව බෙහෙවින් සංකීර්ණ ස්වභාවයක් පෙන්නුම් කරයි.

බ්‍රිතාන්‍ය කෞතුකාගාර බලධාරීන් මෙහිලා ගෙන හැර දක්වන ප්‍රධානතම තර්කය නම් රටේ නීතියට අනුව තමා සන්තකයේ ඇති කිසියම් කෞතුක භාණ්ඩයක් කෞතුකාගාරයකින් ඉවත් කිරීම එහි භාරකරුවන්ට සපුරා තහනම්ය. නමුත් බ්‍රිතාන්‍ය වැසියන් බහුතරයකගේ අදහස මෙම කිරිගරුඬ ප්‍රතිමා ආපසු එහි සැබෑ උරුමකරුවන්ට ලබාදිය යුතුය යන්නයි. මෝරි නමැති ආයතනය 2002 වසරේ දී සිදු කරන ලද සමීක්ෂණයකට අනුව එල්ජින් මාබල්ස් ආපසු ග්‍රීසියට ලබාදිය යුතුය යන්න බ්‍රිතාන්‍යයේ වැඩිහිටියන්ගෙන් සියයට 40 කගේ අදහස වී තිබේ. සියයට 16කගේ අදහස වී ඇත්තේ මෙම මුර්ති කර්ම තවදුරටත් බ්‍රිතාන්‍යය තුළම තබාගත යුතුය යන්නයි.

1817 වසරේ සිට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කොට ඇති මෙම කලා නිර්මාණ ආපසු ග්‍රීසියට බාරදීම බටහිර කෞතුකාගාරවල ඇති, යටත් විජිත යුගයන්හිදී පැහැර ගෙන ගොස් තැන්පත් කරන ලද කෞතුක වස්තු යළි බාර දෙන ලෙසට ඉතාලිය, ඊජිප්තුව, තුර්කිය සහ චීනය වැනි රටවලින් බලපෑම් එල්ල විය හැකි බවට බටහිර කෞතුකාගාරවලට බියක් පවතී. 

නෙෆර්ටිටි දේවියගේ කවන්ධ රූපය

ජර්මනියේ බර්ලින් අගනුවර ඊජිප්තු කෞතුකාගාරයේ තැන්පත් කොට ඇති නෙෆර්ටිටි දේවියගේ කවන්ධ රූපය ඊජිප්තුවෙන් නීති විරෝධී ලෙස පැහැර ගෙන යන ලද තවත් වැදගත් මුර්ති කර්මයකි. අදින් වසර 3400 කට පෙර ඊජිප්තුවේ පාරාවෝ රාජ වංශයේ බලය උච්චතම අවස්ථාවකට එළැඹ තිබියදී එහි රජකම් කළ ඇක්නාතන් රජුගේ බිසව එමගින් නිරූපණය කෙරේ. 1913 වසරේ දී බ්‍රිතාන්‍යය පුරාවිද්‍යාඥයන් විසින් රැගෙන යන ලද මෙම මුර්තිය ආපසු ලබාදෙන ලෙස ඊජිප්තුවේ පුරාවිද්‍යා ප්‍රධානී ෂාහී හවාස් ජර්මානු බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. එමෙන්ම බර්ලින් නගරයේ පර්ගමොන්හි තැන්පත් කොට ඇති ඉස්තාර් ද්වාරයද යළි නූතන ඉරාකයට බාරදීමට සිදු වනු ඇත. 

යටත්විජිත අවදියේ ශ්‍රී ලංකාවෙන් කොල්ල කනු ලදුව, දැනට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කොට ඇති තාරා දේවියගේ ප්‍රතිමාව ද මීට කදිම නිදසුනකි. ක්‍රිස්තු වර්ෂ 7 වන හෝ 8 වන සියවසට අයත් මේ විශිෂ්ට ගණයේ ලෝකඩ ප්‍රතිමාව ත්‍රීකුණාමලය සහ මඩකලපුව අතර ප්‍රදේශයක තිබී හමුවිය. ක්‍රිස්තු වර්ෂ 1812-1822 අතර කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ ශ්‍රීමත් ජී. බ්‍රවුන්රිග් විසින් මෙම ප්‍රතිමාව දිවයිනෙන් පිටමං කරන ලදි. අනතුරුව බ්‍රවුන්රිග් මම ප්‍රතිමාව 1830 වසරේදී බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට පරිත්‍යාග කළේය. දෙවන ලෝක සංග්‍රාම අවදියේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ පැවති සියළුම කලා කෘතීන් ආරක්ෂාව සඳහා වේල්සයට රැගෙන යන අවස්ථාවේ බ්‍රිතාන්‍ය ඉතිහාසඥයෝ මෙම ප්‍රතිමාව එහි ඇති විශිෂ්ටතම කලා කෘතීන් සියයෙන් එකක් ලෙස ලැයිස්තුගත කළහ. ශ්‍රී ලංකාවෙන් සොරාගත් මේ මාහැඟි ජාතික දායාදය තවදුරටත් මෙලෙස රඳවා තබා ගැනීමට බ්‍රිතාන්‍ය රජයට සදාචාරාත්මක අයිතියක් තිබේද? කොළඹ ජාතික කෞතුකාගාරයේ තාරා දේවියගේ ප්‍රතිමාව තැන්පත් කළ යුතු තැන වර්තමානයේ දක්නට ලැබෙන ලෝකඩ ප්‍රතිමාව ආර්. ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයාව සිටියදී සාදවන ලද මුල් ප්‍රතිමාවේ අනුරුවකි. 

තාරා දේවිය

බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ පමනක් නොව යටකී පරිදි යුරෝපයේ සහ උතුරු අමෙරිකාවේ කෞතුකාගාර රැසක, යටත් විජිත යුගයේදී මෙලෙස තම ප්‍රෞඪ ජාතික උරුමයන්ගෙන් අක්මුල් සිඳින ලද මෙවැනි අගනා පුරාවස්තු රැසක් ගබඩා කොට ඇති අයුරු දක්නට ලැබේ. ස්ට්‍රැබෝල්හි සාමිවරයා බ්‍රිතාන්‍යයේ සාමි මන්ත්‍රී මණ්ඩලය හමුවේ ප්‍රකාශ කළ පරිදි “අප මෙම කලා කෘතී සෙසු රටවලට ආපසු බාරදීමට පටන් ගතහොත්, අපගේ කෞතුකාගාර සහ ගැලරි සියල්ල හිස් වනු ඇත”.

එහෙත් මෙලෙස කෞතුක වස්තුන් එහි සැබෑ උරුමකරුවන්ට බාරදීම පිළිබඳ උදාහරණ නැතුවාම නොවේ. ඊජිප්තුවේ නයිල් ගංගාවේ බටහිර ඉවුරේ ගීසා මිටියා‍වතේ පිහිටි, අදින් වසර 4600 ක් තරම් පැරණි Great Sphinx of Giza යනුවෙන් හඳුන්වනු ලබන මිනිස් හිසක් සහිත යෝධ සිංහ රූපයේ කොටසක් බ්‍රිතාන්‍ය කෞතුකාගාරය විසින් “ස්ථීර ණයක් ලෙස” ආපසු ඊජිප්තුවට බාරදෙන ලදි.

තවද, කිසියම් පුරාවස්තුවක මුල් ස්වරූපය අනුකරණය කරමින්, එහි අනුරුවක් නිර්මාණය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සම්පත්‍‍‍‍ හෝ තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිත කිරීම වර්තමානයේ එතරම් උගහට නොවේ. නමුත් මෙහිලා පැනනඟිණ ගැටළුව නම් අද ඉල්ලීම් ඉදිරිපත් කරන රටට ලබාදෙන්නේ එහි මුල් කෘතිය ද, නො‍එසේ නම් එහි අනුරුව ද යන්නයි. කිසියම් කලා නිර්මාණයක මුල් කෘතිය මෙලෙස ආපසු ලබාදීමේ දී ඊට ප්‍රමාණවත් ආරක්ෂාවක් සැපයීමට හෝ එම කෘතිය සංරක්ෂණය කිරීමට එය බාරගන්නා රට හැකියාවක් තිබේ ද යන්න තවත් ගැටළුවකි. විනාශයේ අද්දරට පැමිණ තිබූ කෞතුක වස්තූන්ගෙන් සමහරක් අදටත් ශේෂව පවතිනුයේ ඒවා බටහිර කෞතුකාගාරවල ආරක්ෂිතව, මනා රැකවරණයක් යටතේ තැන්පත් කොට තිබූ නිසා බව සුප්‍රකට පුරාවිද්‍යාඥ කොලින් රෙන්ෆෲ පෙන්වා දෙයි. ග්‍රීසියේ ඇක්‍රොපොලිස්හි ඉතිරිව පවතින මුර්ති කර්මවලට වඩා, බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති එල්ජින් මාබල්ස් මුර්ති කර්ම හොඳ තත්වයක පවතින බව ඔහු පවසයි.

මෙම සංවාදයේ තවත් පැතිමාණයක් කෙරෙහි අවධානය යොමු කිරීම මෙහිලා වැදගත් ය. එනම් සමස්ථ මානව වර්ගයාගේ අතීත උරුමයන්ට අයත් ශ්‍රේෂ්ඨ නිර්මාණ 21 වැනි සියවසේ භූගෝලීය දේශසීමාවන් තුළ පමනක් සිර කොට තැබිය යුතු ද යන්නයි. අමෙරිකාවේ චිකාගෝ සරසවියේ කලා ආයත‍නයේ අධ්‍යක්ෂ ජේම්ස් කැනෝ Who Owns Antiquity  නම් වූ තම කෘතිය තුළ ඉදිරිපත් කරන තර්කයක් නම් “පුරාතන මානව කෘතීන් යනු ලොව ඉපැරණි අතීතයට අයත් සාධක මිස නූතන ලෝකයේ කිසියම් ජාතියකට පමණක් අයත් වූවක් නොවේ. එම මානව කෘතී තුළ අඩංගුව පවතිනුයේ පෞරාණිකත්වයයි. එම පෞරාණිකත්වයට කිසිදු දේශසීමා බේදයක් නොමැත”.

නමුත් ඓතිහාසික මානව විද්‍යාත්මක සහ පුරාවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයට අනුව එල්ජින් මාබල්ස් ඒවා නිමවන ලද, ඇගයීමට ලක් කෙරෙන ඇතැන්ස් නගරයේම යළි පිහිටුවිය යුතු බව ඔහු පෙන්වා දෙයි. ඒ අනුව බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කොට ඇති මෙම කලා නිර්මාණ පිළිබදව බ්‍රෙක්සිට් ක්‍රියාවලිය පසුබිම් කොට ගනිමින්  දිග හැරෙන ඊළග භූමිකාව කුමක් ද යන්න පිළිබව  ලොව පුරා කෞතුකාගාර දැඩි විමසිල්ලෙන් බලා සිටී.

Sending
User Review
3 (2 votes)

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top