විපතට පත් ඉන්දුනීසියානු ගුවන් යානයේ කළු පෙට්ටි සොයා ගැනේ

Capture-1.png

තුෂාන් රංගන

සෙනසුරාදා දිනයේ ඉන්දුනීසියාවේ සිට ගුවන්ගත වීමෙන් සුළු මොහොතකට පසු මුහුදට කඩා වැටුණු මගී ගුවන් යානයේ කළු පෙට්ටි සොයා ගත් බව ඉන්දුනීසියානු බලධාරීහු පවසති. අද දිනයේ සෝදිසි මෙහෙයම් ආරම්භ කිරීමෙන් පසු යානයේ ගුවන් ගමන් පටිගත කිරීමේ යන්ත්‍ර ගොඩගත හැකි බව නාවික හමුදා කිමිදුම්කරුවෝ කියා සිටිති. යානයේ සුන්බුන් මෙන්ම මිනිස් අවයව කොටස් ද හමුවී තිබේ.

 

බෝයිං 737 මැක්ස් මාදිලියේ ගුවන් යානා පසුගිය වකවානුව තුළ ඉමහත් ආන්දෝලනයකට තුඩුදුන් මාතෘකාවක් බවට පත්විය. පුද්ගලයන් 340කට මරු කැදවමින් සිදු වූ දරුණු ගුවන් අනතුරු දෙකක් මීට හේතුවිය.

 

ඉන්දුනීසියාවේ ලයන් එයාර් ෆ්ලයිට් 610 යානය 2018 ඔක්තෝම්බර් මාසයේදීත්,  ඉතියෝපියානු ගුවන් සේවයට අයත් 302 දරන ගුවන් යානය 2019 මාර්තු  මාසයේදීත් මෙලෙස බිහිසුණු ලෙස අනතුරු වලට මුහුණ දී සුන්බුන් බවට පත්විය.

 

ඒ හේතුවෙන් ලොව ගුවන් සමාගම් බොහොමයක් බෝයිං 737 මැක්ස් මාදිලිය තම ගුවන් ගමන් වලින් තාවකාලිකව ඉවත් කරනු ලැබූ අතර යානා මාදිලියේ පවතින මෘදුකාංග දෝෂයක් හේතුවෙන් මෙම අනතුරු සිදු වූ බව පසුව අනාවරණය විය.  බෝයිං සමාගම මෙරිකානු අධිකරණයක් හමුවේ මේ බැව් පිළිගෙන තිබේ.

ඒ අනුව 737 මැක්ස් මාදිලිය සම්බන්ධයෙන් සමාගම විසින් නියාමකයින්ට වංචා කළ බවට වූ චෝදනා මුල්කර ගනිමින් ඩොලර් බිලියන 2.5ක දඩ මුදලක් ගෙවන ලෙසට එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් බෝයිං සමාගම වෙත නියෝග කර ඇත.

 

මෙලෙස නියෝග කර දින දෙකක් වැනි සුලු කාලයක් තුළ දී නැවතත් බෝයිං 737 ගුවන් යානයක් අනතුරට ලක්වීම ඛේදජනක සිදුවීමකි.

 

ඉන්දුනිසියාවේ ජකාර්තා අගනුවර සිට බෝර්නියෝ දූපත්හි කලිමන්තාන් ප්‍රාන්තයේ පොන්ටියානාක් දක්වා පියාසර කරමින් තිබූ සිර්විජියා බෝයිං 737 නම් වූ ගුවන් යානය ගුවන් ගත වී සුළු මොහොතකින් අතුරුදන් විය.

 

අතුරුදන් වන විටත් ගුවන් යානය අඩි 10000 පමණ උසකින් තිබූ බව ඉන්දුනීසියානු බලධාරීහු ප්‍රකාශ කරති. ඒ වනවිට යානයේ මඟීන් 56 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ දෙනෙක් ඇතුළු සමස්ථ පුද්ගලයන් හැට දෙදෙනෙකු ගමන් කරමින් සිටියේ ය.

 

ගුවන් යානය මුහුදට කඩා වැටී ඇති අතර ප්‍රදේශයේ ධීවරයින්ට යානයේ යැයි සැකකෙරෙන සුන්බුන් හමු වී ඇති බව ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කරයි.

 

ලියාපදිංචි වාර්තා අනුව යානය 737 මැක්ස් මාදිලියට අයත් නොවන අතර වසර 26ක් පැරණි 737-500 මාදිලියට අයත් ගුවන් යානයක් වේ. ඉන්දුනීසියාවේ ගුවන් ගමන් පිළිබඳ අනාරක්ෂිතභාව හේතුවෙන් පසුගිය වකවානුව තුළ යුරෝපය වෙත පියාසර කිරීමට අදාළ වාරණ නියෝගයන් ද පනවා තිබුණි.

Share this post

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top