සියවස් තුනක සෞන්දර්ය නවාතැන ගාලු මුවදොර.

Galle-face.jpg

විධිමත් නාගරික ව්‍යුහය තුල නගරවාසීන්ගේ විවේක සුවය උදෙසා වෙන් වූ ස්ථාන අත්‍යවශ්‍ය අංගයකි. ශ්‍රී ලංකාවේ වැඩිම ජන ඝනත්වයක් ඇති කොළඹ නගරය ගැන කතා කිරීමේදී නිතැතින්ම අපගේ සිහියට නැගෙන එවැනි විවේක ස්ථාන දෙකකි. එනම් විහාර මහාදේවි උද්‍යානය හා ගාලු මුවදොර පිටියයි. වත්මන් නාගරික සංවර්ධන කටයුතු හමුවේ නිරතුරුවම කථා බහට ලක්වන මෙම ස්ථාන අතරින්, විහාර මහාදේවි උද්‍යානයේ මූලාරම්භය සිදුවී ඇත්තේ ක්‍රි.ව 1865 දීය.අක්කර සියයක බිම් ප්‍රමාණයකින් යුතුව, “සර්කියුලර් උද්‍යානය " නමින් බිහි වූ මෙය, 1887 දී එවකට බ්‍රිතාන්‍යයේ කිරුළ දැරූ වික්ටෝරියා රැජිනගේ නමින් “වික්ටෝරියා උද්‍යානය" බවට පත් විය.දෙවන ලෝක සංග්‍රාමය අවධියේදී යුද කදවුරක් බවට පත් වූ මෙම උද්‍යානය, 1951 දී යළිත් කොළඹ මහ නගර සභාවට භාර දුන් අතර එතැන් සිට 2001 අප්‍රෙල් මාසයේදී නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගන්නා තෙක්ම මෙය පාලනය කළේ කොළඹ මහ නගර සභාවයි.

“වික්ටෝරියා උද්‍යානය" යන නාමය දැනුදු ව්‍යවහාරයේ පැවතියත් මෙහි වත්මන් නිල නාමය වන “විහාර මහාදේවි උද්‍යානය" යන්න භාවිතයට පැමිණියේ, 1958 සිටය. ඒ එවකට විහාර මහාදේවි ගුණානුස්මරණ කමිටුවේ සිරිදත්තා ජයකොඩි මහත්මිය විසින් කරන ලද යෝජනවක ප්‍රතිඵලයක් ලෙසිනි.

විහාර මහාදේවි උද්‍යානයේ ඉතිහාසය එලෙස වසර 136ක තරම් ඈතට දිව ගියද, ඒ වනවිටත් විවේකස්ථානයක් ලෙස පැවැති “ගාලු මුවදොර" සියවස් තුනක් තරම් ඈතට දිවයන ඉතිහාසයක් සහිත ස්ථානයකි. එහෙත්, ගාලු මුවදොර අද දක්නට ලැබෙන පරිදි, පිටියක් ලෙස සකස් වූයේ මීට වසර 180කට ඉහතදීය. ගාලු මුවදොර පිටිය සකස් වීමට පෙර, කොළඹ නගරයේ විසූ වියපත් කාන්තාවන් හ පිරිමින් විවේකය ගත කළේ තොටළඟ හා මෝදර අවට කදු හා ලදු කැළෑ සහිත ප්‍රදේශයන්හි අශ්ව කරත්තවලින් ගොස් අවට සිරි නැරඹීමෙන් බව ආර්. එල්. බ්‍රෝහියර් සදහන් කරයි.(Changing Face of Colombo).

පැරණි ගාලු මුවදොර

“ගාලු මුවදොර" යන්න ඉංග්‍රීසි බසින් හැදින් වනුයේ Galle Face (ගෝල්ෆේස්) නමිනි. ලන්දේසින් මෙම ස්ථානය හැදින් වූයේ Galle Face යනුවෙනි. ඉන් අදහස් වූයේ, කොළඹ බල කොටුවෙහි, ගාල්ල දෙසට මුහුණලා ඇති කොටසෙහි ඉදිරිපස යන්නයි.

ගාලු මුවදොර පිටිය පසුකාලීනව සුන්දර ස්ථානයක් බවට පත් වූවත් 17 වැනි සියවසේදී ලන්දේසින් විසින් මෙම ස්ථානය ප්‍රයෝජනයට ගන්නා ලද්දේ, වරදකරුවන් ඝාතනය කරන ස්ථානයක් ලෙසිනි.මෙම ස්ථානය පිටියක් ලෙස සකස් කර ඇත්තේ, 1821 දී එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයාගේ පාලන සමයේදී තුරග තරග පැවැත්වීම සදහාය.

පස් පුරවා මනාව තද කොට සකසා තිබූ මෙම පිටියේ ධාවන බාධක පථය සැතපුම් එකහමාරක් පමණ දිගට ඉදිකර තිබිණි. මෙහි මුල්ම තුරග තරගය පවත්වා ඇත්තේ 1840 දීය. ජේ. එල්. කේ. වෑන් ඩෝට් ගේ වාර්තාවලට අනුව මෙම ස්ථානයේ පොල් අතු සෙවිලි කළ ඕවළාකාර ගොඩනැගිල්ලක් ද තිබී ඇති අතර පැරැණි ඕලන්ද බලකොටුවේ ප්‍රාකාරද මීට නුදුරින් දක්නට ලැබිණි. පිටියේ එක් කොටසක් යුද භටයන්ගේ සොහොන් බිමක්  (Garrison Cemetery) ලෙසද භාවිතයට ගෙන තිබේ.

එහි තිබූ සොහොන්වල ස්මාරක පුවරු, දැනට බොරැල්ල කනත්තේ ඇන්ග්ලිකන් කොටසෙහි එක් කෙළවරක තබා තිබෙනු දැකිය හැකිය.

වෑන් ඩෝට් (Van Dort) ගේ වාර්තාවලට අනුව, 1840 ගණන්වලදී ගාලු මුවදොර පැවැති තුරග තරග සදහා යොදාගෙන ඇත්තේ අරාබි අශ්වයන්ය. එකල සිටි අසරුවන් අතරින් වඩාත් ප්‍රසිද්ධියට පත්ව සිටියේ Old Barton නමින් ජනප්‍රියත්වයට පත් පසු කලෙක පෝස්ට් මාස්ටර් ජනරාල් ධූරයද දැරූ කැප්ටන් බාර්ටන් ය. එකල පැවැති තුරග තරග අතර වාර්තා ගත තරගයක් වූයේ 1854 වාර්ෂික තුරග තරගයයි. එය දින පහක් තිස්සේ පැවැතු බවද ඊට සහභාගි වීම පිණිස ජනතාව, බක්කි කරත්තවලින්, තිරික්කලවලින් අශ්වකරත්තවලින් හා දෝලාවලින් පැමිණි බවද පැරැණි වාර්තාවල සදහන් වේ.

ජේම්ස් එමර්සන් ටෙනන්ට් (James Emerson Tennent) සදහන් කරන පරිදි 19 වැනි සියවස මැද භාගය වන විට, ගාලු මුවදොර පිටිය චිත්තාකර්ෂණීය පරිසරයකින් යුක්ත විය.මෝසම් වර්ෂාවත් සමගම මෙහි වූ තණ පදුරු වල මල් පිපී, මුළු පිටියම රතු පැහයක් ගත් බවත් එම දර්ශනය, ඩාවින් විසින් විස්තර කරන ලද LA PLATE පරිසරය හා සමාන බවත් ඔහු සදහන් කරයි.(Ceylon -1859) මේ පිළිබඳව තවදුරටත් කරුණු දක්වන ටෙනන්ට් මෙම ස්ථානය මුහුදට ළංව පිහිටි නිසා නිරතුරුවම කුඩා කකුළුවන්ගෙන් ගහණ වූ බවද සදහන් කරයි.එම කකුළුවන්, ගැඹුරට ගුල් හාරා තිබීම නිසා, මෙහි ගමන් ගත් අසරුවන්ට තද බල ලෙස තුවාල සිදු වූ අවස්ථා පිලිබඳවද වාර්තා වේ.

ගාලු මුවදොර

එලෙස පැවැති ගාලු මුවදොර පිටිය වර්ෂා කාලවලදී මඩ සහිත ස්වභාවයක් ගත් බැවින් තුරග තරග පැවැත්වීමේදී එය විශාල බධාවක් විය. ඒ අනුව 1856 දී හෙන්රි වෝඩ් ආණ්ඩුකාරවරයා විසින් මෙහි පිළිසකර කටයුතු ආරම්භ කරන ලද අතර 1859 දී එම කටයුතු අවසන් කරන ලදී. ප්‍රතිසංස්කරණයෙන් අනතුරුව පිටිය විවෘත කරන ලද්දේ වෝඩ් ආර්යාව විසිනි.එම අවස්ථාවේදී සමරු ඵලකයක්ද විවෘත කරන ලද අතර එහි මෙසේ සදහන් විය.

Galle face walk

commenced by

Sir Henry ward

1856

Completed 1859

And recommended to his succession in the interest of the ladies and children of Colombo

මෙම ඵලකයෙහි අවසාන් වශයෙන් සදහන් කර ඇති ප්‍රකාශය ඉතා වැදගත් වේ. හෙන්රි වෝඩ් ආණ්ඩුකාරවරයා විසින් විවෘත කෙරුණ මෙම පිටිය  කොළඹ නගරයේ කාන්තාවන්ගේ හා ළමයින්ගේ ප්‍රයෝජනය පිණිස ඉදිරි පාලකයන්ගේ අනුග්‍රහය ලැබ පවත්වාගෙන යෑම සදහා පැවාරෙන බව මෙහි සදහන් වේ.ඒ අනුව ඉදිරියේදී ද මෙහි පිළිසකර කටයුතු කෙරෙහි අවධාරණය කර තැබීම එම ස්ථානයෙහි වැදගත්කම හා අවශ්‍යතාව පිලිබඳ ප්‍රබල සාධකයකි…

මේ අතරින් 1870 ගණන්වලදී ගාලු මුවදොර පිටියේ පැවැත්මට තර්ජනයක් වූයේ කොළඹ කොටුවේ සිට මොරටුව දක්වා සැලසුම් කොට තිබූ දුම්රිය මාර්ගය මේ හරහා විහිදීමත් ඒ අනුව පිටිය දෙකොටසකට බෙදී යෑමත් ය. මෙයට නගර වාසීන්ගේ දැඩි විරෝධතාවක් එල්ල වූ අතර ඔවුන් කියා සිටියේ පිටියෙහි ජනයා වැඩිපුර ගැවසෙන ප.ව. 5.00 සිට ප.ව. 7.00 දක්වා කාල සීමාව තුල මෙම මාර්ගයෙහි දුම්රිය ධාවනය නොවිය යුතු බවයි.

මේ පිළිබඳව කරුණු සලකා බැලූ ව්‍යවස්ථාදායක සභාව (The Legislative council) ගාලු මුවදොර පිටිය නගර වැසියන්ට ප්‍රයෝජනවත් ස්ථානයක් බැවින් එය ආරක්ෂා කළ යුතු බව පෙන්වා දුනි. 1875දී නගර වාසින් විසින් මේ සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයාට පෙත්සමක් ද ඉදිරිපත් කරන ලද අතර එය් සලකා බැලූ ඔහු දුම්රිය මාර්ගය පිටිය හරහා නොයන පරිදි ඉදිකරන ලෙස නියෝග කළේය. ඒ අනුව 1877 මාර්තු 01 වැනි දින පිටිය හරහා නොයන පරිදි ඉදිකරන ලද දුම්රිය මාර්ගය විවෘත විය.

කෙසේ වෙතත් 1893 ජුනි 22 වැනි දින, දැනට පවත්නා තුරග තරග පිටිය විවෘත කිරීමත් සමග තුරග තරග සම්බන්ධයෙන් ගාලු මුවදොර පිටියෙහි වැදගත්කම ක්‍රමයෙන් ගිළිහී යන්නට විය. ඒත් සමගම ගාලු මුවදොර පිටියෙහි කොටසක් පවත්වාගෙන ගිය තුරග තරග සමාජය (Ceylon Turf club) ද නව පිටියට ගෙන එනු ලැබීය. වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ද ගාලු මුවදොර පිටිය වැදගත්කමක් නොදැරුවද 20 වැනි සියවස මුල් භාගයේදී මෙහි ප්‍රසිද්ධ ක්‍රිකට් තරග ගණනාවක්ම පවත්වා තිබේ.ඊට එංගලන්ත හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම් සමග පැවැත් වූ තරහද අයත් විය.ඒ වන විට කොළඹ ක්‍රීඩා සමාජ මූලස්ථානය වූයේද ගාලු මුවදොරයි.

1998 දී ගාලු මුවදොර පිටියට එක් වූ තව්ට්ත් විශේෂ අංගයක් ගැන ද මෙහිලා සදහන් කළ යුතුවේ. එනම් ගාලු මුවදොර හෝටලය ( Galle face Hotel) යි. එම හෝටලය ඉදිකර ඇත්තේ එම ස්ථානයෙහි වූ බ්‍රිතාන්‍ය නිලදාරියෙකුගේ නිල නිවසක් ඉවත් කොටය.ගාලු මුවදොර හෝටලය ඉදිකරන විට මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ නිල් නිවාසය පිහිටා තිබුණේ ද ඒ සමීපයෙහිය. අද ගාලු මුවදොර හෝටලය දකුණු ආසියාවේ ඇති පැරැණිතම හෝටල් අතරින් එකකි.

1940  දී කොළඹ නගරය සදහා සැලසුම් යෝජනාවලියක් ඉදිරිපත් කළ ක්ලිෆර්ඩ් හොලිඩේ ( Clifford Holiday) විසින් නගරය වටා තුරු තීරයක් (A green belt around the city) යෝජනා කළ අතර ඒ අනුව ගාලු මුවදොර පිටියත්, බේරේ වැවේ නිරිත දිග පැත්තත් පාලමක් ඔස්සේ වික්ටෝරියා (වර්තමාන විහාර මහාදේවි ) උද්‍යානයත් සම්බන්ධ කිරීමද ඊට ඇතුළත් විය.එහෙත් එම යෝජනව ක්‍රියාත්මක නොවීය.

මේ කෙසේ වෙතත්, ගාලු මුවදොර පිටිය අද කොළඹ නගරයේ තිබෙන ප්‍රධාන විවේකස්ථානය බවට පත් වී තිබේ.බාල තරුණ මහලු කාහට වූවත්  ඒකාකාරී නාගරික දිවියෙන් මදක් අත්මිදී සන්ධ්‍යා කාලය විවේක සුවයෙන් ගත කළ හැකි මෙවැනි ස්ථාන වල සංවරශීලීව හැසිරීමද වැදගත් වේ. කෙසේ වෙතත් හෙන්රි වෝඩ් ආණ්ඩුකාරවරයා ගාලු මුවදොර පිටියේ, සමරු ඵලකයෙහි සදහන් කර ඇත්තේ මෙය කොළඹ නගරයේ කාන්තාවන්ගේ හා ළමයින්ගේ ප්‍රයෝජනය පිණිස ඉදිකළ බවකි. ඉන් ඔහු අපේක්ෂා කළේ අනාගතයේදී අසංවර දසුන් දැකීමකින් තොරව, කාන්තාවන්ට හ ළමයින්ට රිසි පරිදි මෙම ස්ථායෙහි විවේකයෙන් ගත කිරීමේ පසුබිමක් සකසා දීම යැයි සිතිය නොහැකිද ?

Share this post

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top