Current Affairs Studies යනු අන්තර්ජාතික වශයෙන් වැදගත් සමාජ, ආර්ථික, දේශපාලන ඇතුලු විවිධ කාලීන සිදුවීම් ඉදිරිපත් කිරීම සදහාම කැපවූ වෙබ් අඩවියකි. නිරවද්‍යතාවය, අපක්ෂපාතීත්වය, වගකීම සහ සමාගම් හා දේශපාලන ප්‍රවාහයන්හි බලපෑමකින් තොරව ස්වාධීනව ජනතාවට ප්‍රවෘත්ති හා විශ්ලේෂණ රැගෙන ඒම අපගේ අරමුණයි.

Current Affairs Studies වෙබ් අඩවිය මාධ්‍යවේදියෙකු මෙන්ම විදෙස් පුවත් විශ්ලේෂකයෙකු වන විජය දිසානායක, ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණවේදය හදාරන විද්‍යාර්ථයින් පිරිසක් සමග 2020 වසරේදි ආරම්භ කරන ලදී.

 

"විනාශයේ එළිපත්ත අබියස ගිනි තපින හෝමෝ සේපියන්ස් මානවයා"

  – විජය දිසානායක

 

සංස්කාරක සටහන:

 

මුළුමහත් මානව ශිෂ්ටාචාරය බෙහෙවින් බරපතල අර්බුදයකට මුහුණපා සිටී.

දක්ෂිණාංශික, ජාතිකවාදී පාලකයන් තවදුරටත් තම ජාතිය යළි ශ්‍රේෂ්ඨත්වය කරා රැගෙන යන බවට වහසි බස් දොඩමින් සිටිනු දක්නා ලැබේ.

කොතැනක හෝ බරපතල වරදක් සිදුව ඇති බව වටහා ගැනීමට තවමත් අප අපොහොසත්ව සිටිමු. මේ යථාර්තය දෙස නෙත් යොමා බැලීමට කාලයයි. ප්‍රමාදය හුදෙක් පසුතැවිල්ලට නොව විනාශයට හේතුවිය හැකිය.

ලොව වෙලා පැතිර යමින් පවතින කොරොනා වෛරස් වසංගතයේ ආසාදනයට ලක්වූවන්ගේ සංඛ්‍යාව එක්කෝටි පහලොස් ලක්ෂයක ඉක්මවා ගොස් තිබේ. මරණයට පත්වූවන්ගේ සංඛ්‍යාව හයලක්ෂයකට වැඩිය. වසංගතය මගින් ලෝක ආර්ථිකයට අතිමහත් බලපෑමක් එල්ලවී තිබේ. ආහාර සුරක්ෂිතතාවයට සහ ජීවිකාවට එල්ලවී ඇති බලපෑමේ තරම තවමත් නිසි ලෙස තක්සේරු කොට නොමැත. වසංගතය තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින අතර, මීටත් වඩා භයානක නව වසංගත රෝග තව තවත් පැමිණීමේ අවදානමක් පවතින බවට විද්‍යාඥයෝ අනතුරු අඟවති.

අලි මදිවාට කොටි කීවාක් මෙන් කඩිනමින් වර්ධනය වෙමින් පවතින පාරිසරික ව්‍යසනයකට ලෝකය මුහුණපා සිටී. කාර්මික විසකාරක වායුවේ, ජලයේ සහ පසේ ගුණාත්මකභාවය සීඝ්‍රයෙන් අවක්‍රමණය කරන අතරම, දේශගුනික විපර්යාසය මගින් මිහිතලය මිනිස් වාසයට නුසුදුසු ස්ථානයක් බවට පත් කරමින් සිටී.

කෘෂිකර්මාන්තයේ ආරම්භය අදින් වසර 12,000 කට පමන පෙර සිදුවූ අතර නූතන මානව ශිෂ්ටාචාරය මීට වසර 6,000 කට පමන පෙර ආරම්භවූ බැව් සැළකේ. මෙම සමස්ථ වකවානුව තුළ වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් වායු අංශු ප්‍රමාණය මිලියනයකට කොටස් 260-270 ත් අතර (260-270 ppm) පැවතිණ. වසර 150 ක් ඇතුළත මෙම කාබන් අංශු ප්‍රමාණය සියයට 50 කින් පමන ඉහළ ගොස් ඇති අතර නවතම ගණනයන්ට අනුව එය මිලියනයකට කොටස් 417 දක්වා ඉහළ ගොස් තිබේ. කාබන් ඩයොක්සයිඩ් යනු හරිතාගාර වායුවක් වන අතර, එම වායුව “ගෝලීය දේශගුණයේ උණුසුම්කාරකයා” ලෙස සැළකේ. ඒ් අනුව මෙම එක් වායුවක් මෙතරම් සුලබවීම පෘථිවි පෘෂ්ටය මත සහ එහි දේශගුණය පාලනය කරන ප්‍රධානතම සාධකය බවට පත්ව ඇත. දේශගුණික විපර්යාසයේ ප්‍රතිඵලයක් ලෙස, අධික උෂ්ණත්වය, නියඟ, කුණාටු, ගංවතුර, ග්ලැසියර දියවයාම, සහ සාගරයේ ජලමට්ටම ඉහළයාම පෙර නොවූ ‍විරූ ආකාරයකින් ඉහළ යමින් පවතී. මෙම ජූනි මාසයේ ආක්ටික් ප්‍රදේශයේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 100.4 ලෙසින් වාර්තාවූ අතර එය මෙතෙක් එම ප්‍රදේශයෙන් වාර්තාගත ඉහළතම උෂ්ණත්වයයි.

තත්වය මෙසේ තිබියදී, මේ අවදානම් සියල්ල‌ නොතකා හරිමින්,  බලවත් රාජ්‍යයන් න්‍යෂ්ටික යුද්ධයක් සඳහා සිය බලමුළු සූදානම් කරගනිමින් සිටී. එවැනි තත්වයක් මිහිතලය මත සමස්ථ ජීවයේම විනාශයට හේතුවනු නිසැකය. එකිනෙකාට එරෙහිව න්‍යෂ්ටික යුද තර්ජන එල්ල කරමින්, ප්‍රධාන න්‍යෂ්ටික අවි පාලන ගිවිසුම්වලින් බැහැර වෙමින් හෝ ඒ්වා ප්‍රතික්ෂේප කරමින් න්‍යෂ්ටික බලවතුන් තම න්‍යෂ්ටික අවි ගොන්න තව තවත් තර කරගනිමින් සිටී. අමෙරිකා එක්සත් ජනපදය පමනක් මෙම ව්‍යාපෘතිය සඳහා ඩොලර් ට්‍රිලියන 1.5 ක මුදලක් වැය කිරීමට සැළසුම් කර ඇත. ළඟ එන නස්පැත්තිය හමුවේ the Bulletin of the Atomic Scientists සඟරාවේ කතුවරු තම සුපක්‍රට ලෝක විනාශ ඔරලෝසුවේ කටුව මධ්‍යම රාත්‍රියට තප්පර 100 ක් දක්වා සමීපයට රැගෙන විත් ඇති අතර එහි වසර 73 ක ඉතිහාසයේ වඩාත් අවදානම් සහගත අවස්ථාව ලෙස එය සටහන් වේ.

මේ ව්‍යසනකාරී සිදුවීම් සියල්ලෙන් මානව වර්ගයා දිවි ගලවා ගැනීමට සමත් වුවද, වර්ධනය වෙමින් පවතින ආර්ථික සහ සමාජ විෂමතාවන්ගෙන් ලොව පුරා කෝටි සංඛ්‍යාත පිරිසකගේ ජීවිත අතිමහත් ඛේදවාචකයකට මුහුණපා සිටී. 2020 වසරේ ජනවාරි මාසයේදී නිකුත් කෙරුණු, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්ම සිදුකරන ලද අධ්‍යයනයකට අනුව, ලෝක ජනගහනයේ සියයට හැත්තෑවක පිරිසක් වර්ධනය වෙමින් පවතින ආර්ථික අසමානතාවයෙන් පීඩාවට පත්ව සිටිති. අනාරක්ෂිතභාවය සහ සැකසංකාවන් මුල් කොට ගනිමින් වර්ගවාදය සහ සුළුතර ජනකණ්ඩායම් කෙරෙහි පවතින විරෝධය සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී.

මෙම අභියෝගවලට මුහුණදීම සඳහා සමාජය තුළ දැනුවත්භාවයක් ඇති කිරීම සහ සමාජ සාක්ෂරතාවය ඉහළ නංවාලීම ජනමාධ්‍යයට පැවරී ඇති වගකීමකි. අක්ෂර, ශබ්ද, දෘෂ්‍ය රූප යන සාම්ප්‍රධායික ජනසන්නිවේදන මාධ්‍යයන් අභිබවමින් ජනමාධ්‍යයේ සිව්වැනි ඉසව්ව බවට පත් අන්තර්ජාලයට එහිලා ප්‍රබල කාර්යාභාරයක් ඉටු කිරීමේ හැකියාවක් පවතී. www.currentaffairsstudies.com වෙබ් අඩවිය බිහිවන්නේ වඩාත් දැනුවත් සහ පිරිපුන් ශ්‍රී ලාංකීය පුරවැසියන් පිරිසක් බිහිකිරීමේ මේ උතුම් ප්‍රයත්නයට සහායක් වනු පිණිසය.

විජය දිසානායක

ප්‍රධාන සංස්කාරක