අසර්බයිජානය සහ ආර්මේනියාව අතර ගැටුමේ සුළමුල කුමක් ද?

armenia1-1601225293.jpeg

නගෝර්නෝ-කරාබාක් ගැටුම යනු ආර්මේනියාව සහ අසර්බයිජානය අතර මතභේදයට තුඩුදී ඇති නගෝරෝ-කරාබාක් සහ ඊට තදාසන්න දිස්ත්‍රික්ක හතක් මුල් කරගත් ජනවාර්ගික සහ භූමිප්‍රදේශය මුල් කරගත් අර්බුදයකි. මෙම ප්‍රදේශ ආර්ට්සාර්ක ජනරජය විසින් ස්වයංපාලන ප්‍රදේශයක් ලෙස පාලන කෙරුණද, අන්තර්ජාතික පිළිගැනීම වනුයේ මෙය අසර්බයිජානයේ අවියෝජනීය කොටසක් බවයි. මෙම ගැටුමේ ඉතිහාසය 20 සියවස මුල දක්වා දිවයයි. සෝවියට් සංගමය පැවති අවදියේ, එවකට සෝවියට් නායකයාව සිටි ජෝසෆ් ස්ටාලින් නගෝර්නෝ-කරාබාර්ක් ප්‍රදේශය සෝවියට් අසර්බයිජානයේ කොටසක් බවට පත් කිරීමට තීරණය කළේය.

කරාබාක් ප්‍රදේශය සෝවියට් අසර්බයිජානයෙන් සෝවියට් ආර්මේනියාවට පවරාදිය යුතු බව කරාබාක් ආර්මේනියන්වරුන් විසින් ඉල්ලා සිටීමත් සමඟ වත්මන් ගැටුම 1988 වසරේදී ආරම්භ විය. 1990 දශකයේ මෙම ගැටුම මහා පරිමාණයේ යුද ගැටුමක් දක්වා
වර්ධනය විය.

1994 වසරේදී ඇතිකරගත් සටන් විරාමය මගින් දශක දෙකක පමන කාලයක ස්ථාවරත්වයක් ඇතිවූ නමුත් අසර්බයිජානය සහ ආර්මේනියාව අතර සබඳතා අතර සබඳතා යළි තහවුරුවීමට එය ප්‍රමාණවත් නොවීය. 2016 වසරේ අප්‍රේල් මාසයේ දින හතරක් පුරා
දෙපාර්ශවය අතර ඇතිවූ ගැටුම් මේ දක්වා සිදුවූ දරුණුතම සටන්විරාම උල්ලංඝනය කිරීම ලෙස සැළකේ.

නගෝර්නෝ-කරාබාක් ප්‍රදේශය නාමිකව ස්වාධීන රාජ්‍යයක් බව ප්‍රකාශයට පත් කළද, කිවෙකු විසින් එය පිළිනොගන්නා අතර, එය මුළුමනින්ම පාහේ ආමේනියාවේ සහාය මත රඳා පවතී. අසර්බයිජානය මේ අතර, තමන්ට අහිමිවූ ප්‍රාන්තය සහ ආර්මේනියාව විසින් බලහාත්කාරයෙන් ඩැහැගත් භූමිප්‍රදේශ පිළිබඳ තම අයිතිවාසිකම් අත්හැරදැමීමට කිසිදු විටෙකත් සූදානම් නැත. මෙහි අවසන් ප්‍රතිඵලය නම් ඉකුත් වසර 30 ක කාලය තුළ යෙරෙවන් සහ බකු පාලන අතර ඉඳහිට යුද ගැටුම් හටගැනීමයි.

ඉකුත් සතිඅන්තයේ, ආර්මේනියානු සහ අසේරි හමුදා අතර ඉදිරි ආරක්ෂක වළල්ලේදී යළිත් වරක් ගැටුම් ආරම්භ විය. තම හමුදා සතුරු ආක්‍රමණයක් ව්‍යර්ථ කළ බව ආර්මේනියානු රජය ප්‍රකාශ කළ අතර අසේරි යුද උපකරණ රැසක් විනාශ කිරීමට අදාළ වීඩියෝවක් මාධ්‍යයට නිකුත් කළේය. ආර්මේනියාව තම රටට ප්‍රහාරයක් එල්ල කළ බවත්, ඊට පිළිතුරු වශයෙන් තමසන් ප්‍රති-ප්‍රහාරයක් එල්ල කරමින් ගම්මාන රැසක් මුදාගත් බවත් මේ අතර අසේරි රජය කියයි. ආර්මේනියාව දැන් තම හමුදා මෙම ප්‍රදේශයට යොදවා ඇති අතර, දෙපාර්ශවය අතර සෘජු යුද ගැටුමක් ඇතිවේද යන බියක් පවතී.

1990 දශකයේ ඇතිවූ ගැටුමේදී ආර්මේනියාව අතින තමන් ලැබූ බරපතල පරාජය අසර්බයිජානයට කිසිදු ලෙසකින් හෝ අමතක විය නොහැකිය. නමුත් මේ වන විට, තම රුදුරු ප්‍රතිවාදියාට වඩා යුද බලයෙන් සන්නද්ධව, තුර්කියේ සහායෙන් වඩාත් ජවසම්පන්නව, බකූ පාලනය මොස්කව් පාලනයට දැඩි හිසරදයක් ගෙනදී තිබේ.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් වරක් ප්‍රකාශ කළේ කමියුනිස්ට් නායක ව්ලැදිමීර් ලෙනින් රුසියාවට යටින් “කාල බෝම්බයක්” තබා ඇති බවයි. 1917 වසරේ ලෙනින්ගේ බොල්ෂෙවික්වරු බලය අල්ලා ගැනීමෙන් අනතුරුව හඳුන්වාදෙන ලද ෆෙඩරල් ප්‍රතිපත්තිය පුටින් එමගින් අදහස් කළා වන්නට පිළිවන. ලෙනින් සෝවියට සංගමය තුළ වාසය කළ ජාතික සුළුතර ජනකණ්ඩායම්වලට තමන්ගේම ජනරජ පවත්වාගෙන යාමට ඉඩකඩා ලබාදුන්නේය. එලෙස ක්‍රියා කරමින්, කමියුනිස්ට් පාලනය බිඳවැටුණු පසු සංගමයෙන් ඉවත්ව යාමට ජනරජවලට අවස්ථාවක් ලබාදෙන තත්වයක් ලෙනින් විසින් නිර්මාණය කොට තිබිණ.

සෝවියට් ෆෙඩරල් ක්‍රමය තවත් ගැටළු රැසක් නිර්මාණය කළේය. ‘ජනරජ’ 15 ක ස්වරූපයෙන් කමියුනිස්ට්වරු සුවිශාල ජාතීන්ට ස්වයංපාලන බලතල ලබාදීමට ද ක්‍රියා කළේය. කුඩා ජාතීන්ට ද ස්වයංපාලන බලතල හිමිවුවද, එය වෙනස් ආකාරයේ පාලන ස්වරූපයකි – ස්වයංපාලන ජනරජ සහ ස්වයංපාලන කලාප ලෙස ඒ්වා හඳුන්වා දෙනු ලැබිණ. ජනරජය බිඳ වැටෙන විට ඉහළ ස්වයංපාලනයක් පැවති ජනරජවලට නිදහස හිමිවූ නමුත්, යටකී ස්වයංපාලන ජනරජවලට සහ කලාපවලට එලෙස නිදහස හිමිනොවීය.

මෙවැනි ආවාට ගියාට මෙන් සිදුවූ ප්‍රතිඵලය සම්බන්ධයෙන් කුඩා සුළුතර ජනකණ්ඩායම් නොසතුටට පත්වීම පුදුමයට කරුණක්‌ නොවේ. මේ නිසාම ඔවුහු ජනරජවලින් වෙන්ව යාමේ අභිලාෂයක පසුවූහ. එහි අවසන් ප්‍රතිඵලය නම් විවිධ යුදගැටුම් ගණනාවකට මුලපිරීමයි. අසර්බයිජානය තුළ පිහිටි ආර්මේනියානුවන් බහුතරයක් වෙසෙන භූමියෙන් වටව පවතින කුඩා ප්‍රදේශයක් වන (enclave) නගෝරෝ-කරාබාක් ස්වයංපාලන ප්‍රදේශයේ ජනයා අසර්බයිජානයෙන් වෙන්වී ආර්මේනියාව සමඟ එක්වීමට උත්සාහ කිරීමත් සමඟ එම ගැටුම්වල පළමුවැන්න එම ප්‍රදේශයේ උද්ගත විය. ආර්මේනියාවට ජය අත්කරදෙමින් එම යුද්ධය නිමාවට පත්විය. ආර්මේනියානුවෝ අසාර්වරු නගෝර්නෝ-කරාබාක් ප්‍රදේශයෙන් පළවා හැරීමෙන්ද නොනැවතී, අසර්බයිජානයට අයත් විශාල භූමි ප්‍රදේශයක් ආර්මේනියාවෙන් බිඳී ගිය ප්‍රදේශයට ඇඳා ගැනීමට කටයුතු කළේය.

වසර 30 ක‌ට පෙර ආර්මේනියාව අතින් පරාජය ලබන විට සිටියාට වඩා තමන් ශක්තිමත් බව අසර්බයිජානය වටහාගෙන සිටීම නවතම ගැටුමට හේතුවිය හැකි බව ඇතැමුන්ගේ අදහසයි. තමන් සතු තෙල් සංචිතවලවලින් ලැබෙන විදෙස් විනිමයවල සහාය ඇති අසර්බයිජාන ආර්ථිකය තම අසල්වැසි රටට වඩා ස්ථාවරව පවතින අතර, ජනගහණය අතින් ගත් කළ ආර්මේනියාවේ මිලියන තිහක ජනගහණයට වඩා වැඩි ජනගහණයකට (මිලියන 10 කට) අසර්බයිජනය හිමිකම් කියයි. අසර්බයිජනය තම යුද ශක්තිය වර්ධනය කරගැනීම සඳහා විශාල ආයෝජනයක් සිදු කොට ඇති අතර තම ශක්‍යතාවයන් පිළිබඳ පෙර නොවූ විරූ ආකාරයේ විශ්වාසයකින් පසුවෙයි.

අසර්බයිජානයේ විශ්වාසය තවත් ඉහළයාමට බලපා ඇති හේතුවක් නම් තම ප්‍රධානතම හිතවතා වන තුර්කියෙන් ලැබෙන සහයෝගයයි. සති අන්තයේ ඇතිවූ ගැටුම්වලින් අනතරුව, තුර්කි ජනාධිපති රෙසෙප් තායිප් එර්ඩොගාන් “ආක්‍රමණිකයාට එරෙහිව ගෙන යන සටනේදී සමස්ථ ලෝකයම අසර්බයිජානයට සහාය දිය යුතු බව” ප්‍රකාශ කළේය. තත්වය පාලනය කරගත නොහැකි තත්වයට උග්‍ර විය හැකි වුවද, තුර්කිනේ ලැබෙන එවැනි සහතිකයක් අසාරි නායකත්වයට තැබූ අඩිය ආපස්සට ගැනීමට සිත් නොදෙන අයුරින් විශ්වාසයක් ජනිත කරයි.

රුසියාව නගෝරෝ-කරාබාක් ආරවුල සම්බන්ධයෙන් තමන් මධ්‍යස්ථ ස්ථාවරයක පසුවන බව පවසන අතර, තම මතභේද සාමකාමීව විසඳා ගන්නා ලෙස සියළු පාර්ශවවලින් ඉල්ලා සිටී. එයින් අදහස් කෙරෙනුයේ පවතින තත්වය එලෙසින්ම පවත්වාගෙන යන ලෙසයි. එහෙත් පවත්නා තත්වයේ වාසිය ආර්මේනියාවට හිමිවන තත්වයක් තුළ මොස්කව් පාලනයේ මම ස්ථාවරය ආර්මේනියාවට ලබාදෙන වක්‍ර සහයෝගයක් ලෙස සැළකේ. අනෙක් අතට, ආර්මේනියාව රුසියාවේ සත්කාරකත්වයෙන් දියත් කෙරුණු සාමූහික ආරක්ෂක ගිවිසුම් සංවිධානය, යුරේසියානු ආර්ථික සංගමය වැනි එකමුතුවල ප්‍රධාන සාමාජිකයෙකුව සිටීම රුසියාවේ මේ ස්ථාවරය ප්‍රශ්ණාර්ථයට ලක් කරයි.

ඒ අනුව, නගෝර්නෝ-කරාබාක් ගැටුම රුසියාව සහ තුර්කිය වක්‍රව එකිනෙකා සමඟ ගැටුමකට අවතීර්ණය කරයි. එමෙන්ම රුසියාව ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරන බවටත්, ආඥාදායක පාලන තන්ත්‍රවලට සහාය දක්වන බවටත් බටහිර ඉදිරිපත් කරන ආඛ්‍යාණය ද එමගින් ප්‍රශ්ණාර්ථයට ලක් කරයි. මක්නිසාද යත්, රුසියාවට හිතවත් ආර්මේනියාව ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වන අතර තුර්කිය සහාය දක්වන අසර්බයිජානය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් නොවීමයි.

 රුසියාව සහ තුර්කියට හිතවත් රටවල් එකිනෙකාට එරෙහිව ගැටුම් ඇති කරගන්නා එකම ස්ථානය නගෝරෝ-කරාබාක් ප්‍රදේශය පමනක් නොවේ. සිරියානු භූමිය තුළ රුසියාව බෂර් අල් අසාද්ගේ රජයට සහාය දක්වන අතර, තුර්කිය ඉඩ්ලිබ් ප්‍රාන්තයේ අසාද් පාලනයට එරෙහි කැරළිකරුවන්ට සහාය පළකරන ප්‍රතිපත්තියක් අනුගමණය කරයි. ලිබියාවේදී ද, තුර්කිය ට්‍රිපොලි අගනුවර රජයේ හමුදාවන්ට විශාල සහායක් දක්වමින් කලීෆා හෆ්තාර්ගේ හමුදා අගනුවරට දුරින් තබාගැනීමට උපකාර කළේය.

මෙම සමස්ථ තත්වය සැළකිල්ලට ගැනීමේදී තුර්කිය කොකේසියාව, මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාව යන කලාප තුළ රුසියාවේ බලපෑම් අවුල් කරන්නෙකුගේ භූමිකාවක් රඟ දක්වන බව මොස්කව් පාලනයට පෙනී ගොස් ඇතැයි රුසියානු ඉතිහාසය පිළිබඳ විශේෂඥයෙකු වන, කැනඩාවේ ඔටාවා සරසවියේ මහාචාර්ය පෝල් රොබින්සන් පවසයි. එමෙන්ම තුර්කිය තම ක්‍රියා කලාපය නිසා සිත් රිදවීමට ලක් කළ එකම රට රුසියාව පමනක් නොවේ. විශේෂයෙන්ම නැගෙනහිර මධ්‍යධරණී සාගරයේ නේටෝ සාමාජිකයන්ට එරෙහිව තුර්කිය මෑතකදී ක්‍රියා කළ ආකාරය නිසා පළුදු කරගත් සබඳතා රුසියාවට, උද්ගතව ඇති තත්වය තම වාසිය පිණිස යොදා ගැනීමට නව ඉඩප්‍රස්ථාවක් විවර කරයි. තුර්කිය රුසියාවේ නිෂ්පාදිත එස් – 400 ආරක්ෂණ පද්ධතිය මිලයට ගැනීමේ සූදානමක ද පසුවෙයි.

තවත් විශේෂ කරුණක් නම්, රුසියාව සහ තුර්කිය මෑතකදී ගැටුම් මාවතට අවතීර්ණවූ සෑම විටෙකදීම, රුසියානු රජය ඉතා ඉක්මනින් තත්වය සාමාන්‍යය අතට රැගෙන ඒමට ක්‍රියා කළේය. නගෝර්නෝ-කරාබාක් තත්වය සම්බන්ධයෙන් ද මොස්කව් පාලනය එම ස්ථාවරයෙහිම පසුවීම පුදුමයට කරුණක් නොවේ. එක් අතෙකින් රුසියාවට තම හිතවත් රටට සහාය පළ කළ යුතුව ඇත. අනෙක් අතට තුර්කියද ගැටුම් මාවතට රැගෙන එන ආකාරයෙන් තත්වය වඩාත් තීව්‍රවීම වළකාලිය යුතුය. ඒ අනුව, සටන් විරාමය යළි තහවුරු කොට පැවති තත්වය යළි පවත්වාගෙන යාම රුසියාවට ඇති හොඳම විසඳුම බැව් පැහැදිලිය.

රුසියාවේ මෙම ප්‍රවේශය මේ මොහොතේ සාර්ථක වුවද, දිගු කාළීනව ගත් කළ, ආර්ථික සහ ප්‍රජාවිද්‍යාත්මක තත්වයක් සැළකිල්ලට ගැනීමේදී දකුණුදිග කොකේසියානු කලාපයේ බලය අසර්බයිජානයට වාසිසහගත ලෙස වෙනස්වීමේ ප්‍රවණතාවයක් පවතී. ඒ සමඟ රුසියාවට තුර්කිය සමග සබඳතා සමබර කිරීමේ තම ප්‍රයත්නය වඩාත් අසීරුවීමට ඉඩ ඇතැයි මහාචාර්ය රොබින්සන් පවසයි. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top