එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් වෙන්වයාම සම්පූර්ණ කරමින්, යුරෝපා එකමුතුවට අයත් තනි වෙළෙඳපොලෙන් සහ තීරු බදු වැඩපිළිවෙලින්ද ඉවත් වූයේ බ්‍රෙක්සිට් වැඩපිළිවෙලට පක්ෂව රටේ ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වසර හතර හමාරකට පසුව ය.

“මෙය මේ රටට ඉතා හොඳ අවස්ථාවක්”, අගමැති බොරිස් ජොන්සන් තම නව අවුරුදු පණිවිඩය මගින් කියා සිටී. “අපගේ දෑත්වලට නිදහස ලැබී ඇති අතර එහි උපරිම ඵල නෙලා ගැනීම අප සතුව පවතී”.
සංගමය තුළ දශක පහක කාලයක් රැඳී සිට වෙන්ව ගිය පසු බ්‍රිතාන්‍යයේ අනාගතය කෙබඳු වේද යන්න තවමත් නොපැහැදිලිය.
එක්සත් රාජධානිය “විද්‍යාත්මක සුපිරි බලවතෙකු” බවට පත් කරමින් අනාගතයේ අධි නිපුණතාවයෙන් යුත් රැකියා දස ලක්ෂ ගණනින් නිර්මාණය කිරීම සඳහා ජීව විද්‍යාව, කෘත්‍රීම බුද්ධිය මෙන්ම බැටරි සහ සුළං බල තාක්ෂණ සංවර්ධනයෙහිලා පුරෝගාමියෙකු ලෙස ඉදිරියට රැගෙන ඒම ජොන්සන්ගේ අරමුණ වී තිබේ.
නමුත්, ව්‍යාපාර කටයුතුවලදී සාධාරණ තත්වයන් විකෘති කිරීමට බ්‍රිතාන්‍යය උත්සාහ කළහොත් එක්සත් රාජධානියට එරෙහිව ආනයනික බදු පනවන බවට යුරෝපා සංගමය තර්ජනය කර ඇති පසුබිමක් තුළ තමන්ට අභිනවයෙන් ලැබුණු මෙම නිදහස ලංඩන් පාලනය කෙසේ භාවිත කරයිද යන්න බ්ලූම්බර්ග් වෙබ් අඩවිය ප්‍රශ්ණ කරයි. සම්මුතිය මගින් ඉඩකඩ ලබාදී ඇති ආකාරයට ලංඩනය සහ බ්‍රසල්ස් පාලනය වෙළෙඳ ගිවිසුම යළි ලේඛනගත කරනු ඇති ද?
බ්‍රිතාන්‍යය ආර්ථිකයේ වැදගත්ම කොටසක් වන මූළ සේවාවන් පිළිබඳව තීරණාත්මක එකඟතාවයකට එළැඹීමට ජොන්සන්ගේ රජය සමත් වේද? එසේ නැතහොත්, වසංගතය සමඟ ගෙන යන අරගලය – එමගින් ව්‍යාපාරවලට සහ රැකියාවලට ඇති කළ විනාශකාරී බලපෑම – බ්‍රෙක්සිට් ක්‍රියාවලියෙන් පසු ආර්ථිකය ප්‍රතිසංස්කරණය කිරීමට ඔහුගේ පාලනය දරන ප්රයත්නය අඩපණ කරයි ද?
|

නුදූරු වකවානුව තුළ, මතුවිය හැකි ප්‍රායෝගික අභියෝග ගණනාවකි. නව විධිවිධානවලට එකඟවීමට සමාගම් සූදානම් නොමැතිවීම හේතුවෙන් ජනවාරි මාසයේ දී එක්සත් රාජධානිය-යුරෝපා සංගමය අතර දේශසීමාවේ කටයුතුවල බාධාවන්ට මුහුණදීමට ජොන්සන්ට සිදුවනු ඇත.
නිසි බලපත්‍ර නොමැති භාණ්ඩ ප්‍රවාහන ට්රක්රථ සැතපුම් ගණනක් දිගට පෝලිම් ගැසුණහොත්, ආහාර, රසායන ද්‍රව්‍ය සහ ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ සැපයුමේ හිඟයකට මුහුණ දීමට බ්‍රිතාන්‍යයට සිදුවනු ඇතැයි වෙළෙඳපොල ආරංචි මාර්ග උපුටා දක්වන බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පෙන්වා දෙයි.
නව වෙළෙඳ ගිවිසුම මගින් බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමය අතර වාණිජ කටයුතු මෙහෙයවනු ලබන අතර ආනයනික බදු සහ භාණ්ඩ සඳහා කෝටා වළක්වාලන නමුත්, සමාගම්වලට නිලධාරීවාදයේ බලපෑම් එල්ල කරමින් ව්‍යාපාරවලට සංගමය තුළ තම ව්‍යාපාර පහසුවෙන් ගෙන යාමට බාධා එල්ලවීමේ අවදානමක් පවතී.
කෙසේ වෙතත්, ජොන්සන්ට අනුව යුරෝපා ව්‍යුහයෙන් ඉවත්වීමට හැකිවීම බ්‍රිතාන්‍යයේ සෛවරීත්වය ලබා ගත් ජයග්‍රහණයක් වන අතරම රටට අවශ්‍ය පරිදි නීති සකස් කරගත හැකිවීම මහඟු ඉඩප්රස්ථාවක් උදා කරයි.
සාමාජිකත්වය පිළිබඳ ගැටළුව නිරාකරණය කරගත් නමුත්, එක්සත් රාජධානිය තම විශාලතම වෙළෙඳ හවුල්කරු සමඟ කෙතරම් සමීප ද , දුරස්ථ ද යන්න පිළිබඳ තවදුරටත් උණුසුම් වාද විවාද පවතී.