අඩ සියවසකට ආසන්න කාලයකට පසුව, සඳේ පස් සොයා යන Chang’e-5 යානය

c75f8ec323b64091995d439761efa37c-750.jpeg

සඳ ගවේෂණය ඉලක්ක කර ගත් චීනයේ Chang’e-5 අභ්‍යාවකාශ යානය නොවැම්බර් 23 වැනිදා Hainan දූපතේ Wenchang චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙන් සාර්ථකව ගුවන් ගත කෙරිණ. ටොන් 8.2ක් බර යානය උඩු ගුවනට යවනු ලැබුවේ Long March 5 වර්ගයේ රොකට්ටුවක ආධාරයෙනි.දින 23 ක මෙහෙයුම මගින් සඳ මතුපිට පස් හා පාෂාණ කිලෝග්‍රෑම් 2ක් පමණ පෘථිවියට රැගෙන ඒම Chang’e-5 යානයට පැවරී ඇති වගකීමයි.

නීල් ආම්ස්ට්‍රෝන් සඳ මත පා තැබීමෙන් පසුව  සඳ ගවේෂණය සඳහා රටවල් කිහිපයක් මෙහෙයුම් දියත් කළ ද සඳෙහි සාම්පල ලබා ගැනීම සඳහා මානවයා විසින් මෙවැනි මෙහෙයුමක් දියත් කර ඇත්තේ වසර 44කට පසුවයි. සෝවියට් සංගමය විසින් යවන ලද  Luna 24 අභ්‍යාවකාශ යානය මගින් 1976 දී ග්‍රෑම්170ක චන්ද්‍ර සාම්පල පෘථිවිය වෙත අවසන් වරට රැගෙන විත් තිබේ.ඇපලෝ මෙහෙයුම් මාලාව මගින් මේ දක්වා රැස්කර ඇති චන්ද්‍ර සාම්පල ප්‍රමාණය කිලෝග්‍රෑම් 382කට ආසන්නය.කෙසේ වෙතත් ප්‍රධාන කාරණා හතරක් මත චීනයේ Chang’e-5 අභ්‍යාවකාශ මෙහෙයුම ඉතා සංකීර්ණ එකක් ලෙස හැඳින්විය හැකිය.

පළමු වැන්න එහි සාම්පල රැස්කිරීමේ සුවිශේෂී හැකියාවයි. රොකට්ටුවෙන් වෙන් වීමෙන් පසුChang’e-5 තමන්ගේම තෙරපුම් බලය භාවිතා කරමින් දින හතරක් චන්ද්‍රයා වටා කක්ෂයේ ගමන් කිරීමට නියමිතයි.ඉන්පසු එහි ලෑන්ඩරය  සඳ මත Mons Rümker නම් ස්ථානය වෙත යොමු කෙරේ.ගිනිකඳු සහිත එම ස්ථානයේ අඩි හයක් ගැඹුරට හාරමින් පාෂාණ කොටස් රැස් කිරීමට එහි ඇති රොබෝ තාක්ෂණික උපකරණ වලට හැකියාව තිබේ.

දෙවැනි සංකීර්ණ අවස්ථාව, ස‍ඳ මතුපිටින් පිටත් වීමයි. ස‍ඳේ පස් එකතු කිරීමෙන් පසුව, Chang’e-5 යානයට අයත්, කක්ෂයට නැංවීමේ යන්ත්‍රය මගින් පස් නියැදි සහිත කැප්සියුලය චන්ද්‍රයා වටා කක්ෂයකට යොමු කෙරේ. එය චීනයේ අභ්‍යාවකාශ යානයක් ස‍ඳ මතුපිටින් අභ්‍යාවකාශයට යොමු කෙරෙන පළමු අවස්ථාවයි. පෘථිවියේ මෙන් දියත් කිරීමේ උපකරණ නොමැති වුවද ස්වයංක්‍රීය ලෙස එය සඳ මත සිට ගුවන් ගත කරවීමට  චීන විද්‍යාඥයින් සැලසුම් කර තිබේ.

එලෙස ගුවන් ගත කෙරුණු යානයේ නැගීමේ කොටස චන්ද්‍ර කක්ෂයට පිවිසීමෙන් පසුව එහි තිබෙන කක්ෂීය යන්ත්‍රය හා ආපසු පැමිණිමේ කොටස සමඟ සම්බන්ධ වී තටාකගත වීම සිදු වෙයි. කිලෝමීටර් තුන්ලක්ෂ අසූ දහසක් දුරින් පිහිටි චන්ද්‍ර කක්ෂයේදී මිනිසුන් රහිතව අභ්‍යාවකාශ යන්ත්‍ර එකට සම්බන්ධ වීම මෙහෙයුමේ තුන් වැනි සංකීර්ණ අවස්ථාවයි. චන්ද්‍රයා වටා කක්ෂයක ස්වයං පාලනයෙන් අභ්‍යාවකාශ  යන්ත්‍ර එකිනෙක සම්බන්ධ කිරීමක් සිදු කෙරෙන්නේ මානව ඉතිහාසයේ ප්‍රථම වතාවයි.

 පසුව මෙම ඒකාබද්ධ යන්ත්‍රය පෘථිවිය වෙත ආපසු පැමිණීම ආරම්භ කරයි. එය පෘථිවිය වෙත පැමිණෙන්නේ තත්පරයකට කිලෝමීටර් 11.2ක වේගයකිනි. එහෙත් පෘථිවියට ආපසු පැමිණීම සිදු කෙරෙන යානයක සුරක්ෂිත වේගයතත්පරයකට කිලෝමීටර් 8 නොඉක්මවිය යුතුයි. Chang’e-5 සුරක්ෂිත ලෙස පෘථිවිය මතට ගොඩබැස්සවීම සහතික කිරීම සඳහා විද්‍යාඥයින් විශේෂ උපක්‍රමයක් යොදා ගැනීමට තීරණය කර ඇත. ඒ අනුව ගුවන් යානය පෘථිවි වායුගෝලයට ප්‍රවේශ වීමෙන් පසු එමගින් ඇති වන උඩුකුරු බලය සමග යානය මත තවත් පිටතට බලයක් යෙදීමට සැලසුම් කර තිබේ. එමගින් එහි වේගය තත්පරයකට කිලෝමීටර් අට දක්වා අඩු කර සුරක්ෂිත ගොඩබැස්සවීමක් සිදු කළ හැකි බව විද්‍යාඥයින්ගේ මතයයි. කෙසේ වුවද මෙම සංකීර්ණ ක්‍රියාදාමය ඉතාම නිවැරදිව ක්‍රියාත්මක කළ යුතුයි. 

ජාතික තාරකා විද්‍යා නිරීක්ෂණාගාරය

මේ දක්වා සිදුකළ ඇපලෝ සඳ ගවේශන මෙහෙයුම් මගින් මානවයා රැස්කර ඇත්තේ වසර බිලියන තුනකට වඩා පැරණි චන්ද්‍ර පාෂාණ කොටස් බව  විද්‍යඥයින්ගේ නිගමනයයි. එහෙත් වසර බිලියන දෙකක් පමණ පැරණි නැවුම් පාෂාණ කොටස්  Chang’e-මෙහෙයුම මගින් ලබා ගත හැකි වෙතැයි විශ්වාස කෙරේ.

දෙසැම්බර් මස 16 හෝ 17 දින පාෂාණ රැගත් Chang’e-5 යානය චීනයේ ඇතුළු මොන්ගොලියානු ස්වායත්තය වෙත පැමිණෙනු ඇතැයි මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කර ඇත.පසුව එම සාම්පල ඉතා සුරක්ෂිත ලෙස බෙයිජිං ජාතික තාරකා විද්‍යා නිරීක්ෂණාගාරය වෙත යොමු කිරීමට නියමිතය.

Chang’e-5 විසින් ගෙනෙනු ලබන පාෂාණ ඔස්සේ “සඳෙහි ගිනිකඳු ඉතිහාසය හා ඒවා නිර්මාණය වූයේ කෙසේද” යන්න පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කිරීමට චීන විද්‍යාඥයෝ අපේක්ෂා කරති.  

එම මෙහෙයුම චීනයට පමණක් නොව සමස්ත ලෝක අභ්‍යාවකාශ ඉතිහාසයේ ම ඓතිහාසික සන්ධිස්ථානයක් වනු නොඅනුමානයි.

මෝතිලාල් හිස්සැල්ල චීනයේ බෙයිංජිං අගනුවර සිට….

Mothilal Hissella

ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධරයෙකු වන මෙන්ම ජර්මනියේ බර්ලින් නුවර IIJB ආයතනයේ රූපවාහිනී සන්නිවේදනය පිළිබඳ ඩිප්ලෝමා ලාභියෙකි. ඔහු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ කැමරාශිල්පියෙකු හා ප්‍රවෘත්ති නිෂ්පාදකයෙකු ලෙස වසර 27ක් මාධ්‍ය වෘත්තියේ නියැලී සිටියේය. දැනට චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල සේවයේ උපදේශකයෙකු ‍ලෙස ඔහු බෙයිජිං අගනුවර සේවය කරයි.

Share this post

    Mothilal Hissella

    Mothilal Hissella

    ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධරයෙකු වන මෙන්ම ජර්මනියේ බර්ලින් නුවර IIJB ආයතනයේ රූපවාහිනී සන්නිවේදනය පිළිබඳ ඩිප්ලෝමා ලාභියෙකි. ඔහු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ කැමරාශිල්පියෙකු හා ප්‍රවෘත්ති නිෂ්පාදකයෙකු ලෙස වසර 27ක් මාධ්‍ය වෘත්තියේ නියැලී සිටියේය. දැනට චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල සේවයේ උපදේශකයෙකු ‍ලෙස ඔහු බෙයිජිං අගනුවර සේවය කරයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top