වසංගත අභියෝග මධ්‍යයේ වුවද දිළිඳුකම පිටුදැකීමේ ඉලක්කය සපුරා ගැනීමට චීනය සමත් වෙයි

8580947894_2e90647a6f_z.jpg

2020 වන විට අන්ත දිළිඳුභාවය රටෙන් සම්පූර්ණයෙන්ම තුරන් කිරීමේ සැලසුම ක්‍රියාවට නැංවීම චීන කොමියුනිස්ට් පක්ෂ රජය ආරම්භ කළේ 2012 වසරේදී ය. ඒ වනවිට මිලියන 98.99ක් වූ චීනයේ දිළිඳු ජනගහනය 2019 වසර වන විට මිලියන 5.51 දක්වා අඩු කර ගැනීමට එම සැලැස්ම හේතු විය. 10.2% ක් ලෙස පැවති දරිද්‍රතා අනුපාතය ඒ සමග ම 0.6% දක්වා පහත වැටිණ.

කොරොනා වසංගතයෙන් බලපෑම් එල්ල වූයේ දිළිඳුකම තුරන් කිරීමේ සැලසුමේ අවසන් වසරටයි.එනම් 2020 වසරේ එම ඉලක්කය සපුරා ගැනීමට චීනය අසමත් වනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළහ.එහෙත් වසංගතය සාර්ථක ලෙස පාලනය කිරීමෙන් පසුව ආර්ථික වර්ධනය සාමාන්‍ය තත්වයට පත් කර ගනිමින් දිළිඳුකම පිටුදැකීමට චීනයට හැකි විය.එය ගෝලීය දරිද්‍රතාවය පිටුදැකීමේ තිරසර සංවර්ධන ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට ද ප්‍රබල පිටුබලයක් වී තිබේ.

වසර 8ක අඛණ්ඩ ප්‍රයත්නයකින් පසු වත්මන් ප්‍රමිතීන්ට අනුව මිලියන 100ක පමණ ග්‍රාමීය දිළිඳු ජනගහනය සම්පූර්ණයෙන්ම දිළිඳුකමින් මුදවාගෙන ඇති බව චීන ජනාධිපති ෂී ජින් පින් මහතා 2021 නව වසර නිමිත්තෙන් නිකුත් කළ සුභ පැතුම් පණිවුඩයේ සඳහන් වේ. දිළිඳු කෝරළ 832ක් දිළිඳුභාවයේ ලැයිස්තුවෙන් ඉවත් වී ඇත. ගෙවී ගිය වසර කිහිපය තුළ දිළිඳු කලාප 14කට ගොස් දුගී ජනතාව සහ නිලධාරීන් ඉමහත් උද්‍යෝගයෙන් දිළිඳුකම තුරන් කිරීමේ කටයුතුවල නිරත වූ අයුරු සියැසින් දුටු බව ද චීන ජනාධිපතිවරයා කියා සිටී.

බරපතල ගංවතුර හා නියං ස්වාභාවික විපත්වල හානි හැකි තරමට අවම කිරීමට 2020 වසරේ දී චීනයට හැකි විය. සෑම ප්‍රදේශයක ජනතාව වසංගත පාලන ක්‍රියාමාර්ග දැඩිව  ක්‍රියාත්මක කරමින් ආත්ම විශ්වාසයෙන් හා ජවසම්පන්න ව නිෂ්පාදන කටයුතුවල නිරත වෙමින් සිටින ආකාරය පළාත් සහ නගර 13කට ගොස් සතුටින් නිරීක්ෂණය කළ බව හෙතෙම නව අවුරුදු පණිවුඩයේ සඳහන් කර ඇත.

එඩිතර බව ඉස්මතු වන්නේ දුෂ්කරතාවන් තුළිනි. වෙහෙස මහන්සියෙන් ජයග්‍රහණ හිමි වේ. වසංගතයෙන් ඇති වූ බලපෑම් අවම කරමින් වසංගත පාලනය සහ ආර්ථික හා සමාජීය සංවර්ධනය සමබර කරමින් විශාල  ජයග්‍රහණ දිනා ගැනීමට චීනය සමත් ව තිබේ.හදිසියේ මතු වූ කොරොනා වසංගතය හමුවේ ජනතාව ප්‍රමුඛ ස්ථානයක තබා ‍ජීවිතවලට මුල් තැන දී එක්සිත්ව දුෂ්කරතා නොතකා වසංගතයට එරෙහිව සටන් කිරීමෙන් මෙම ‍ඓතිහාසික ජයග්‍රහණ දිනා ගත හැකි වූ බව චීන ජනාධිපතිවරයා කියා සිටී.

 දරිද්‍රතාවය පිටුදැකීම පිළිබඳ මෙම චීන අත්දැකීම් බෙදා ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පරිපාලක හෙලන් ක්ලාක් මහතා සෙසු රටවලින් ඉල්ලා තිබේ.

හැකි ඉක්මනින් වසංගතය පරාජය කොට වඩාත් සුන්දර මිහිතලයක් නිර්මාණය කිරීම වෙනුවෙන් එක්සිත් ව අත්වැල් බැඳගන්නා ලෙස චීන ජනාධිපතිවරයා ලොව පුරා ජනතාවගෙන් ඉල්ලා සිටී.

Mothilal Hissella

ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධරයෙකු වන මෙන්ම ජර්මනියේ බර්ලින් නුවර IIJB ආයතනයේ රූපවාහිනී සන්නිවේදනය පිළිබඳ ඩිප්ලෝමා ලාභියෙකි. ඔහු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ කැමරාශිල්පියෙකු හා ප්‍රවෘත්ති නිෂ්පාදකයෙකු ලෙස වසර 27ක් මාධ්‍ය වෘත්තියේ නියැලී සිටියේය. දැනට චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල සේවයේ උපදේශකයෙකු ‍ලෙස ඔහු බෙයිජිං අගනුවර සේවය කරයි.

Share this post

    Mothilal Hissella

    Mothilal Hissella

    ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධරයෙකු වන මෙන්ම ජර්මනියේ බර්ලින් නුවර IIJB ආයතනයේ රූපවාහිනී සන්නිවේදනය පිළිබඳ ඩිප්ලෝමා ලාභියෙකි. ඔහු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ කැමරාශිල්පියෙකු හා ප්‍රවෘත්ති නිෂ්පාදකයෙකු ලෙස වසර 27ක් මාධ්‍ය වෘත්තියේ නියැලී සිටියේය. දැනට චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල සේවයේ උපදේශකයෙකු ‍ලෙස ඔහු බෙයිජිං අගනුවර සේවය කරයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top