ලෝක පර්යාය බරපතල වෙනස්කමකට භාජනය කරමින්, මිහිතලය මත වඩාත් බලගතුම හමුදාවන් තුනෙන් දෙකක් අතර යුද සන්ධානයක් ගොඩනැගීමේ හැකියාවක් ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් පවසයි.
වල්ඩායි සාකච්ඡා සමාජය හමුවේ අන්තර්ජාලය ඔස්සේ අදහස් දක්වමින් පුටි අද මේ බව කියා සිටියේය. රුසියාවට චීනය සමඟ සන්ධානයක් ගොඩනඟා ගැනීමේ අවශ්‍යතාවයක් නැතැයි කී පුටින්, “අවශ්‍ය වුවහොත් එවැන්නක් ඇති කරගත හැකි බව” අවධාරණය කළේය. ලොව සුපිරි බලවතුන් දෙදෙනෙකු වන රුසියාව සහ චීනය අතර සබඳතා සීඝ්රයෙන් වර්ධනය වෙමින් පවතින අතර එම රටවල් දෙක එක්ව යුද අභ්‍යාසද පවත්වනු දැකිය හැක.

වල්ඩායි යනු 2004 වසරේදී පිහිටුවා ගන්නා ලද චින්තන පර්ෂදයක් වන අතර එහි වාර්ෂික සැසිවාරය පුටින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මෙම හමුව සොචී නගරයේ පැවැත්වෙන නමුත් කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් මෙවර එය සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.
“රුසියානු-චීන සම්බන්ධතා ඉතා ඉහළ තලයකට ළඟාවී තිබේ”, ජනාධිපති පුටින් පැවසීය.
ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේ චීනය රුසියාවේ පැවති කව්කාස් – 2020 නමැති මහා පරිමාණයේ යුද අභ්‍යාසයකට ද මොස්කව් පාලනයට හිතවත් රටවල් සමග සහභාගී විය. චීන-රුසියා සහයෝගීතාවය වර්තමානයේ මූළික වශයෙන් ආර්ථික සම්බන්ධතාවයක් වන අතර ඉකුත් වසරේ දෙරට අතර වෙළෙඳ ධාරිතාවය ඩොලර් බිලියන 111 ක් ලෙස සටහන් විය.
