දේශගුණික විපර්යාසය මානවයාට සමීපතම අතීත මානව වර්ග පහක් මෙළොවින් තුරන් කළ බව නවතම අධ්‍යයනයක් මගින් හෙළිවේ. මීළඟට අපිද?

three_busts_l_horizontal-bucci-2-1024x365-1.png

ගෝලීය දේශගුණයේ සිදුවූ හදිසි වෙනස්කම් හේතුවෙන් ඊට අනුහුරුවීමට නොහැකිවීම නිසා මානව වර්ග පහක් වඳව ගිය බැව් නවතම අධ්‍යයනයක් හෙළි කරයි.

අදින් වසර මිලියන 5.3 සිට මිලියන 2.6 දක්වා පැවති ප්ලයෝසීන අවදියේ සිට වසර මිලියන 2.6 සිට වසර 11,600 තෙක් පැවති ප්ලයිස්ටෝසීන භූවිද්‍යාත්මක අවදිය තුළ හෝමෝ වර්ගයට අයත් එකිනෙකාට වෙනස් මානව විශේෂ 6 ක් මිහිතලය මත වාසය කළහ. 

ඉතාලියේ නැපෝලි සරසවියේ පර්යේෂණ කණ්ඩායමක් සිදුකළ නවතම අධ්‍යයනයකට අනුව, අප නියෝජනය කරන හෝමෝ සේපියන්ස් සේපියන්ස් මානව විශේෂය හැර සෙසු මානව විශේෂ පහම මිහිමතින් වඳව යාමට දේශගුණික විපර්යාසය හේතුවී තිබේ. මානව ක්‍රියාකාරීත්වය හේතුවෙන් ගෝලීය උෂ්ණත්වය සීඝ්‍රයෙන් ඉහළ යන තත්වයක් තුළ මෙම සොයා ගැනීම බරපතල අනතුරු ඇඟවීමක් බැව් විද්‍යාඥයෝ පෙන්වා දෙති. 

හෝමෝ හැබිලිස්, හෝමෝ අර්ගැස්ටර්, හෝමෝ ඉරෙක්ටුස්, හෝමෝ හයිගල්බර්ගන්සිස්, හෝමෝ නියැන්ඩර්තාලෙන්සිස්, සහ හෝමෝ සේපියන්ස් යන මානව විශේෂ හයට අයත් වාර්තා පරිශීලනය කිරීමෙන් විද්‍යාඥයන් මෙම නිගමණයට එළැඹ තිබේ. මෙම මානව විශේෂ පහම යටකී අවදිය තුළ ලොව පුරා පෘථුලව ව්‍යාප්තව පැවති බවත්, සියුම් ගල් ආයුධ තාක්ෂණය ප්‍රගුණ කොට සිටි බවත් විද්‍යාඥයෝ පවසති.

සෙසු සියළු මානව විශේෂ වඳව ගිය නමුත් අප නියෝජනය කරන මානව විශේෂය අභාවයට නොයෑමට හේතුව කුමක්ද යන්න තවමත් නිශ්චිතව අනාවරණයවී නොමැත. ඇතැම්විට වඩාත් දියුණු තාක්ෂණය හෝ ඇතැම්විට හුදෙක් වාසනාව ඊට හේතු වන්නට ඇත. කෙසේවෙතත්, වර්තමානයේ මුළුමහත් මානව වර්ගයාම ගෝලීය දේශගුණයේ හදිසි වෙනස්කමක් හමුවේ දැවැන්ත අභි‍යෝගයකට මුහුණපා සිටිති.

ප්ලයිස්ටෝසීන අවදිය තුළ පැවති ලෝකයට වඩා වර්තමානයේ ලෝකය පැහැදිලි වෙනස්කමකට භාජනයවී ඇති අතර, මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් භූදර්ශනය සහ ජීව ස්ථරය ද ප්‍රබල පරිවර්තනයකට ලක්ව තිබේ. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top