ගෙදරටම වෙලා ඉඳලා ඇති වෙලා ද? මේ ගැන මඳක් හිතන්න!

Screenshot-2020-11-19-194214.png

වසංගතය විසින් අපගේ එදිනෙදා ජීවිතයට ඇති කළ බලපෑම නිසා හටගත් වෙනස්කම් සමඟ දැඩි අරගලයක නිරත වන්නට ඔබට මට සිදුවී ඇත. රෝග ව්‍යාප්තිය පාලන කිරීම සඳහා පනවන ලද අගුළුලෑම් සහ හුදකලා කිරීම් මධ්‍යයේ බොහෝ දෙනෙකුට තම නිවෙසට කොටුවී අන් අයගෙන් ඈත්ව ජීවත් වන්නට සිදුව තිබේ. වෛරසය පැතිර යාම එමගින් පාලනය කළ හැකි වුවද, එමගින් අපගේ මානසික සෞඛ්‍යයට සහ සුබසාධනයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව නිසැක ය.

 

එහෙත් මේ වසංගතය විසින් ඇති කරන ලද කාංසිය මකා දමන්නට ඔබට මට කදිම මිතුරකි සිටින බව ඔබ දන්නවා ද? ඒ තමයි සොබා දහම. මේ අසාමාන්‍යය අවදියේදී අප අවට පරිසරයට අහිතකර මානසික සෞඛ්‍ය ගැටළු නිරාකරණය කිරීමේ හැකියාවක් පවතින බව අධ්‍යයන ගණනාවක් මගින් හෙළිවී තිබේ.

“ස්වභාව ධර්මයේ බෙහෙවින් කුඩා කොටසකට පවා මානසික සෞඛ්‍ය ප්‍රතිඵල ළඟා කළ හැකි බව අධ්‍යයනයන් මගින් තහවුරුවී ඇත”, වොෂිංටන් සරසවියේ පර්යේෂකයෙකු වන කැත්ලීන් වුල්ෆ් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. “ ඔබ අවට පරිසරය දෙස හොඳින් අවධානය යොමු කරන්න, අප විසින් මෙතෙක් නොසලකා හරින ලද ස්වාභාව ධර්මයේ ඉතා කුඩා කොටසක් කෙරෙහි පවා ඔබේ අවධානය යොමු කරන්න”.

බොහෝ දෙනෙකු නිවසට වී දුරස්ථව සේවය කරන අතර, තමන්ට තදාසන්න වටාපිටාව කෙරෙහි එයින් වැඩි පිරිසකගේ අවධානය යොමුවී තිබේ. කර්මාන්ත ශාලා සහ මෝටර් රථ මගින් සිදුකෙරෙන විමෝචන වසංගතය හේතුවෙන් අඩුවී ඇති අතර ළඟ පාතක ඇති උද්‍යානයේ, ඇවිදින මංතීරුවේ, ක්‍රීඩා පිටියේ, වෙල් යායේ සුන්දරත්වයේ අසිරිය මොහොතක විඳගන්න අමතක නොකරන්න.

ගෙවතු සහ උද්‍යාන බෝග වගාව ඉතා හොඳ මානසික සහ ශාරීරික ක්‍රියාකාරකමක්. ලොව පුරා ජනයා වසංගත අවදියේ නිවසට සීමාවී සිටින අවදියක අන්තර්ජාලය ඔස්සේ බීජ සහ පොහොර ඇණවුම් කිරීම ඉකුත් වසරට සාපේක්ෂව වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි තවත් අධ්‍යයනයන් මගින් හෙළි කරයි. අමෙරිකා එක්සත් ජනපදයේ බීජ අලෙවි සමාගමක් වන ඩබ්ලිව්. ඇට්ලී බර්පී සහ සමාගම පවසන පරිදි ඉකුත් මාර්තු මාසයේ තම බීජ සඳහා වසර 144 ක ඉතිහාසයේ වැඩිම ඇණවුම් ප්‍රමාණය ලැබී තිබේ.

මානසික සෞඛ්‍යය සහ ස්වභාව ධර්මය ඇසුරු කිරීම අතර සම්බන්ධතාවය පිළිබඳව ටෝකියෝ සරසවිය පුද්ගලයන් 3,000 ක් ඇසුරින් සිදු කළ සමීක්ෂණයක් මගින් හෙළිවී ඇත්තේ හරිත ප්‍රදේශවල නිතර සැරිසැරීම සහ සතුට ඉහළ යාම අතර සම්බන්ධතාවයක් පවතින බවයි.

“මිනිසා කෙරෙහි ඇතිවන දැඩි පීඩාකාරී සිදුවීම්වල බලපෑමෙන් මිදීමෙහිලා ස්වාභාව ධර්මය රැකවරණයක් සළසන බැව් අපගේ අධ්‍යයනය මගින් තහවුරු විය”, අධ්‍යයනයේ ප්‍රධානියා වන මසාෂි සෝගා පවසයි.

නිවසේ සිටින ඔබට පහත සඳහන් උපදෙස් අත්වැලක් වනු ඇතැයි අප කල්පනා කරමු:

         ගහ කොල සෙලවෙන හඬ සහ කුරුල්ලන්ගේ කිචිබිචියට සවන්දීමට හෝ වර්ෂාවේ නැවුම් සුවඳ ආඝ්‍රාණය කිරීමට කාමරයේ ජනේලය විවර කරන්න.

         උදෑසන හෝ හිරු බැස යාමට පෙර සැඳෑ කාලයේ ස්වාභාවික ලෝකයේ වර්ණතාවයේ අසිරිය නරඹමින් ඇවිදින්න.

         ගහ කොල වවන්න. ගෙදර දොරේ ආහාරයට රැගෙන ආ එළවළු හෝ පලතුරු ඇට හෝ වගා කිරීම ප්‍රමාණවත් ය.

         ගෙවත්ත හෝ නිවස අලංකරණය කිරීමේ දී ස්වභාව ධර්මයට තැන දෙන්න.

         උයන පිහන විට ස්වභාව ධර්මය ගැන සිතන්න. උදෑසන කෝපි කෝප්පයක් පානය කරන විට එම කෝපි මල් පරාගනය කරන වැසි වනාන්තරවල පක්ෂීන් ගැන සිතන්න. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top