කියුබානු සෞඛ්‍ය ක්‍රමයෙන් අපට ගත හැකි පාඩම් මොනවාද? කියුබානු තානාපතිය සමඟ කෙටි පිළිසඳරක්

cuba-9.jpg

කොවිඩ් – 19 රෝගය රට තුළ වඩාත් උත්සන්නව පැවතුණු මොහොතක මමත්, මගේ මිත්‍ර දොන් ධම්මිකත්, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ කියුබානු තානාපතිනි ජුවානා එලීනා රාමෝස් රොඩ්‍රිගුවෙස්ව මුණ ගැහෙන්න ඇයගේ නිල නිවසට ගොඩවුනා. සෞඛ්‍යමය අවදානමක් පැවති අවදියක් වුනත් ඇය අපිව සාදරයෙන් පිළිගත්තා විතරක් නෙවෙයි, කියුබානු තානාපතිනියගේ නිවසට ගියාම හැමදාමත් ලැබෙන කියුබානු රම් වීදුරුවකිනුත්  අපට සංග්‍රහ කරන්න අමතක කළේ නෑ.

ඇයත් සමඟ පැවති කෙටි පිළිසඳරෙදි අපි විවිධ මාතෘකා ගැන කථා කලා. ඒ අතර, කියුබාවේ දියුණු සෞඛ්‍ය පද්ධතිය ගැන කැමරාවේ පටිගත වුන සහ ඇය පළකල හිතේ රැඳුන අදහස් මේ මොහොතට ලොකු වටිනාකමක් තියෙනවා.

කියුබාවේ සෞඛ්‍ය පද්ධතියේ මෑත ඉතිහාසය පටන් ගන්නේ කොතැනින් ද?

කියුබාවේ සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම් නොතිබුණු ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලබාදීම ආරම්භ වුනේ 1959 කියුබානු විප්ලවයත් සමඟයි. ඒ යටතේ වෛද්‍ය සායන ගොඩනැගිලි රට පුරා ඉදි කෙරුණා. කියුබාවේ පහසුකම් නොමැති නගර සහ දිළිඳු ගම්මානවලට වෛද්‍යවරුන් සිටත් කර හැරුණා. රට තුළ වෛද්‍ය රැකවරණ පුළුල් කළාට පසුව කියුබාව කල්පනා කළා මේ අත්දැකීම ලෝකය පුරා ව්‍යාප්ත කරන්න. ඒ යතේ තමයි විදේශ රටවලට වෛද්‍යවරු පිටත් කර හැරුනේ.

කියුබාව රටේ සෞඛ්‍ය පහසුකම් පද්ධතිය ප්‍රතිසැළසුම් කරන්න අවුරුදු 30 ක කාලයක් ගතකළා. මෙහි ප්‍රතිඵලයක් හැටියට තමයි ලෝකයේ වඩාත් සංවිධිත ප්‍රජා-මූළික වෛද්‍ය විද්‍යාවට කියුබාව හිමිකම් කියන්නේ.

කියුබාවේ සෞඛ්‍ය පද්ධතිය තමන්ගේ උතුරුදිග අසල්වැසියා, අමෙරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය ක්‍රමයත් එක්ක සැසඳුවොත්?

කියුබාවේ ළදරු මරණ අනුපාතය අමෙරිකාවට වඩා අඩුයි. ඒ වගේම ආයු අපේක්ෂාව වැඩියි. කියුබාව 1999 අවුරුද්දේ ලතින් අමෙරිකානු වෛද්‍ය විද්‍යාලය ආරම්භ කලේ වෛද්‍ය අධ්‍යාපනය කලාපයේ සෙසු රටවලට ලබා දෙන්න. 2020 වෙනකොට වෛද්‍යවරු 30,000 එහි පුහුණුව ලබා තිබෙනවා. දිළිඳු රටවල දරුවන්ට මේ සරසවියට ඇතුළුවෙලා වෛද්‍ය විද්‍යාව හදාරන්න එමගින් විශාල සේවයක් ඉටුවනවා.

ඒ විතරක් නෙවෙයි, කියුබාව ගතවුණ දශක 6 ක කාලය තුළ කියුබානු වෛද්‍යවරු ලෝකය පුරා රටවල් 164 කට තමන්ගේ සේවය ලබාදීල මිලියන ගණනක පිරිසකගේ ජීවිත උසස් මට්ටමකට අරන් ඇවිත් තියෙනවා.

හැබැයි අමෙරිකා එක්සත් ජනපදයේ රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් යන මේ පක්ෂ දෙකම කියුබාව වෛද්‍ය විද්‍යාව අතින් ලබල තියෙන මේ දියුණුව තමන්ගේ ජනතාවගෙන් වසන් කරන්නට පොදුවේ උත්සාහ කරනවා. ඔවුන් කැමති නෑ අනෙකුත් දිළිඳු රටවල් කියුබානු ක්‍රමය අනුකරණය කරනවාට.

කොවිඩ් – 19 වසංගතයට ශ්‍රි ලංකාව මුහුණ දුන් ආකාරය ගැන යමක් කීවොත්?

ඇත්තටම ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ අර්බුදය ඉතාම විශිෂ්ඨ ආකාරයකින් කළමණාකරනය කරන්න සමත් වුනා. ඇත්තටම අපිටත් ඒ ගැන ආඩම්බරයි. රෝගය රට තුළ පැතිරයාම වැළැක්වීමට, රෝගීන් හඳුනා ගැනීමට, සැකසහිත පුද්ගලයන් නිරෝධානයන කිරීමට සහ ප්‍රතිකාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සෙසු ලෝකයට ආදර්ශයක්. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top