රටවල් කොටවන අමෙරිකානු විදේශ ප්‍රතිපත්තියට විරෝධය පළකරමින් ඉතියෝපියාව වොෂිංටනයේ තානාපතිවරයාට තරවටු කරයි

great-renaissance-dam-complete.jpg

බ්ලූ නයිල් නදිය හරස් කොට ඉතියෝපියාව ඉදිකරමින් සිටින ජලාශය ඊජිප්තුව විසින් “පුපුරුවා හරිනු ඇතැයි” අමෙරිකානු ජනාධිපතිවරයා කළ ප්‍රකාශය අඩ්ඩිස් අබාබා පාලනයේ දැඩි විරෝධයට මුල්වී තිබේ. ට්‍රම්ප්ගේ ප්‍රකාශය යුද්ධයක උසි ගැන්වීමක් බව ඉතියෝපියාව පවසයි.

 

ට්‍රම්ප්ගේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉතියෝපියානු විදේශ අමාත්‍යය ගෙඩු අන්දර්ගාචෙව් අමෙරිකා එක්සත් ජනපද තානාපති මයිකල් රේනර් විදේශ අමාත්‍යාංශයට කැඳවා තරවටු කළේය. ඉතියෝපියාව විසින් ඩොලර් බිලියන 4.6 ක වියදමින් ඉදිකරන වේල්ල පිළිබඳව ජනාධිපති ට්‍රම්ප් කළ ප්‍රකාශයට පසුදින මෙම පියවර ගෙන තිබේ.

තම කෘෂිකර්මාන්තය සහ පානීය ජල අවශ්‍යතාවයන් සඳහා නයිල් ගංගාව සහ එහි අතු ගංගා මත රඳා පවතින, රටේ  පහළ අසල්වැසියන් වන ඊජිප්තුවට, “මේ ආකාරයට ජීවත්විය නොහැකි නිසා”, මෙම ව්‍යාපෘතිය “බෙහෙවින් භයානක තත්වයක්” උද්ගත කොට ඇතැයි ට්‍රම්ප් කියා සිටියේය.

ඊශ්‍රායලය සහ නයිල් ගංගාවේ පහළින් පිහිටා ඇති සුඩානය අතර සාම සම්මුතියක් අත්සන් තැබීමේ උත්සවයේදී අදහස් දක්වමින් ජනාධිපති ට්‍රම්ප් මේ බැව් පැවසීය. “ඔවුන් මේ වේල්ල පුපුරා දමයි”, ට්‍රම්ප් එහිදී ඊජිප්තුව ගැන කියා සිටියේය. “මම එය පැහැදිලිවම පවසනවා – ඔවුන් වේල්ල පුපුරා දමාවි. ඔවුන් කුමක් හෝ කළ යුතුයි”.

“වහසිබස් දොඩමින් කරන තර්ජනවලට” තම රට කිසිසේත් බිය නොවන බව ඉතියෝපියානු අගමැති අබි අහ්මඩ් පවසයි. නයිල් ගංගාවේ ජලය බෙදා ගැනීම පිලිබඳ ආරවුල් සමතයකට පත්කර ගැනීමට අදාළව අප්‍රිකානු සංගමයේ නායකත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවලට ඉතියෝපියාව කැපවී සිටින බව හෙතෙම අවධාරණය කරයි. එම සාකච්ඡා “සාර්ථක ප්‍රගතියක්” අත්කරගනිමින් සිටී.

මහා ඉතියෝපියානු පුනරුද වේල්ල යනුවෙන් නම් කොට ඇති මෙම ව්‍යාපෘතිය මිලියන ගණනක ඉතියෝපියානු වැසියන් පිරිසක් දිළිඳුකමින් මුදා ගැනීමේ අරමුණින් දියත් කළ බව ඉතියෝපියාව කියයි.

ඉතියෝපියාව සහ ඊජිප්තුව අතර යුද්ධයක් උසිගැන්වීමට බලයේ සිටින අමෙරිකානු ජනාධිපතිවරයෙකු දරන උත්සාහය ඉතියෝපියාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර දිගුකාලීන පාර්ශවීකත්වයට මෙන්ම මූලෝපායික සම්බන්ධතාවයන්ට ද අනුකූල නොවන අතරම, රාජ්‍යයන් අතර සම්බන්ධතාවයන්ට අදාළ අන්තර්ජාතික නීතියට ද පටහැනිය”, අන්දර්ගාචෙව් ඊයේ කියා සිටියේය.

මෙම වේල්ල පිළිබඳ අර්බුදය සමථයට පත් කිරීමට පූර්වයෙන් දැරූ උත්සාහය අසාර්ථකවීමෙන් පසු ට්‍රම්ප් පාලනය ඉතියෝපියාවට මූල්‍ය ආධාර අත්හිටූවන  බව නිවේදනය කළේය.

මේ අතර යුරෝපා සංගමයේ විශේෂ සාකච්ඡාකරු ජෝසප් බෙරෙල් පවසන්නේ මහා ඉතියෝපියානු පුනරුද වේල්ල සම්බන්ධයෙන් ඉතියෝපියාව, සුඩානය සහ ඊජිප්තුව එකඟතාවයකට එළැඹීමට සූදානමින් සිටින බවයි. “මේ එය සාර්ථක කරගැනීමට මිස උණුසුම වර්ධනය කරගැනීමට අවස්ථාවක් නොවේ”, ඔහු අවධාරණය කරයි. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top