ගෝලීය ණය සුනාමියක්: කොරෝනා වෛරසය හේතුවෙන් ගෝලීය ණය වාර්තාගත ලෙස ඉහළ යයි

epidemic-4888837_1920.jpg

කොරෝනා වෛරස් අර්බුදය මුල් කරගනිමින් ගෝලීය ණය ප්‍රමාණය වාර්තාගත ලෙස
ඉහළ ගොස් ඇති අතර වසරේ තෙවැනි කාර්තුවේ එම ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 272 දක්වා ඉහළ ගොස් ඇතැයි අන්තර්ජාතික මූල්‍ය සඳහා වූ ආයතනය පවසයි. මෙය “ණය සුනාමි ප්‍රහාරයක්” බැව් එම ආයතනය පෙන්වා දෙයි.

ඉදිරි මාස කිහිපය තුළ මෙම ණය ප්‍රමාණය නව වාර්තාවක් පිහිටුවමින් වසර අවසානය වන විට ඩොලර් ට්‍රිලියන 277 දක්වා ඉහළ යා හැකි බව එම ආයතනය පවසයි. ඒ අනුව එමගින් ගෝලීය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 365% අනුපාතයක් පෙන්නුම් කරනු ඇත.

ලොව පුරා ආණ්ඩු ගෝලීය වසංගතයෙන් ආරක්ෂාවීමට ජනතාවට නිවෙස් තුළට වී සිටින ලෙසට දුන් විධානයන් හේතුවෙන් ඇතිවූ ආර්ථික අර්බුදයට පිළියමක් වශයෙන් සමාගම්වලට සහ ජනතාවට සහණ සැලසීමට විශාල පිරිවැයක් යෙදවීමට සිදුවීම මෙම ණය ප්‍රමාණය මෙලෙස ඉහළයාමට හේතුවී තිබේ.

“කොවිඩ් – 19 වසංගතයෙන් ඇතිවූ බලපෑම වර්ධනය වීමත් සමඟ ආණ්ඩුවල සහ සමාගම්වල ණය ප්‍රමාණය තියුණු ලෙස වර්ධනය වූ අතර 2020 වසරේ මුල් කාර්තු තුන ඇතුළත ගෝලීය ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 15 කින් වර්ධනය වෙමින් සමස්ථ ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 272 දක්වා වර්ධනය වී ඇත”, අන්තර්ජාතික මූල්‍ය සඳහා වූ ආයතනය සිය නවතම වාර්තාවෙන් පෙන්වා දෙයි.

ලොව දියුණු රටවල ණය ප්‍රමාණය වසරේ තෙවැනි කාර්තුවේ දී තම දළ දේශීය නිෂ්පාදිතයෙන් 432% ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එම වාර්තාවේ දැක්වේ. එය 2019 වසරට සාපේක්ෂව 50% ක වැඩිවීමකි. ලොව විශාලතම උත්තේජන පැකේජයන් ලබාදුන් රටක් වන අමෙරිකා එක්සත් ජනපදය එම වැඩිවීමෙන් අඩකට පමන දායකත්වය දක්වයි.  

යුරෝ මුදල් කලාපය තුළ (යුරෝ මුදල තම විනිමය ලෙස භාවිතා කරන යුරෝපා සංගමයට අයත් රටවල් 27 න් 19 ක් යුරෝ මුදල් කලාපයට ඇතුළත් ය) එම වකවානුව තුළ රජයේ ණය ඩොලර් ට්‍රිලියන 1.5 කින් ඉහළ යාම නිසා සමස්ථ ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 53 දක්වා ඉහළගොස් තිබේ.

නැගී එන වෙළෙඳපොලවල් ලෙසින් සැළකෙන රටවල ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 248% ක් දක්වා ඉහළ ගොස් ඇතැයි අන්තර්ජාතික මූල්‍ය සඳහා වූ ආයතනය පවසයි. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top