කොවිඩ් එන්නත සහ වර්ණබේදවාදය

2019-11-20-Pharma-drug-costs.png

අමෙරිකා එක්සත් ජනපද සමාගම් දෙකක් වන ෆයිසර් සහ මොඩර්නා සමාගම් දෙක විසින් සාර්ථක ලෙස අත්හදා බලන ලද කොවිඩ් – 19 එන්නත් සති කිහිපයක් ඇතුළත අමෙරිකා එක්සත් ජනපදය තුළ අනුමත කොට බෙදා හැරීමට සියළු කටයුතු සූදානම් බව අමෙරිකානු සෞඛ්‍ය ලේකම් ඇලෙක්ස් අසාර් ඊයේ ප්‍රකාශ කළා. අදාළ එන්නත්වලට සෞඛ්‍ය නියාමන බලධාරීන්ගේ අනුමැතිය ලැබී පැය විසි හතරක් ඇතුළත සියළු ප්‍රාන්ත සහ පාලන ප්‍රදේශවලට බෙදා හැරීමට කටයුතු කරන බව ඔහු මාධ්‍යවේදීන් හමුවේ  ප්‍රකාශ කළා. අමෙරිකාවේ කොවිඩ් – 19 මරණ සංඛ්‍යාව දැන් 250,00 ඉක්මවා ගොස් තිබෙනවා. ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 11 කට වැඩියි.

ෆයිසර් සහ මොඩර්නා විතරක් නෙවෙයි,. එන්නත් 12 ක් පමන අත්හදාබැලීම්වල අවසන් අදියරයේ පවතින බවට වාර්තා පළවී තිබෙනවා. සැබැවින්ම, වැඩි වැඩියෙන් එන්නත් නිපදවීම අපි හැමෝටම සුබදායි ආරංචියක්. ඒත් ගෝලීය එන්නත් අලෙවිය සහ බෙදා හැරීම පිළිබඳ කාරණයේදී නිෂ්පාදන තාක්ෂණය හා සම්බන්ධ හිමිකාරීත්වය මත “ගෝලීය එන්නත් වර්ණබේදවාදයක්” නිර්මාණය විය හැකි බවට ඇතැමුන් බිය පළ කරනවා. බටහිර සමාගම් විසින් නිපදවන මේ එන්නත්වල මුල් කාණ්ඩයේ එන්නත් උතුරු අර්ධගෝලයේ පොහොසත් කාර්මික රටවල් ලහි ලහියේ මිලදී ගන්නවාට සැකයක් නැහැ. සමහර විට ධනවත් රටවල දේශසීමාවන් තුළ මේ බෙදිල්ල නතරවෙලා තුන්වෙනි ලෝකේ දිහාවට මේ සමාගම්වල ඇස ගැටෙන්න මාස ගණනාවක්, තවත් බොහෝ විට වසර ගණනාවක් ගතවේවි. කෙනෙකුට අහන්න පුළුවන් මේක ද ගෝලීයකරණය කියල.

1970 දශකයේ අගභාගයේ දී මතුවුනු නවලිබරල්වාදී අවදියේ ප්‍රතිඵලයක් හැටියට විවිධ හානිකර ලක්ෂණ ගණනාවක් සමාජය තුළ ඇති කළා. පෞද්ගලික අංශය වඩා ඒකරාශී වූ අසීමිත බලය ජනසමාජ විනාශ කරමින් මූල්‍ය පද්ධතීන් විනාශයට පත් කළා. මේ ක්‍රමය තුළ බිහිවූ බහුජාතික සමාගම් සතු බලය බොහෝ ජාතික රාජ්‍යයන් සතු බලය අභිබවා යන්නක්. මේ සමාගම් ගෝලීයකරණ ක්‍රියාවලිය තුළ අපි වගේ ඒවා රටවල් නොවෙයි, සුබසාධක සමිති…..මම නම් කියන්නේ මරණාධාර සමිති. මහාචාර්ය ‍නෝම් චොම්ස්කි කියන්නේ මේක ගෝලීයකරණයකට වඩා අමෙරිකානුකරණයක් කියල. මේ එන්නත් සම්බන්ධයෙනුත් ඔහුගේ ඒ කථාව සාධාරණයි.  

අද ලෙඩ රෝග කියන්නේ මේ පෞද්ගලික සමාගම්වලට තමන්ගේ ලාබය තව තවත් තර කර ගන්න ලැබුණු අවස්ථාවක්. ඒත් මේ ඖෂධ සමාගම් වසංගත රෝගවලට එන්නතක් නිපදවන්න වැඩි අවධානයක් යොමු කළේ නෑ. ඒ පිළිබඳ වගකීම ආණ්ඩුවලට පවරල දීල තිබුණේ. මොකද ඊට වඩා වැඩි ලාබයක් ඉපැයිය හැකි සෞඛ්‍ය අංශයේ විවිධ ක්ෂේත්‍ර තිබුණ නිසා. ඒත් කොවිඩ්  – 19 වසංගතය පැමිණියාට පස්සේ මේ සමාගම්වලට විශාල වෙළෙඳපොලක් අද නිර්මාණය වෙලා තියෙනවා. මේ නිසාම මේ සමාගම්වලට බටහිර බලවත් රටවල ආණ්ඩු වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයට සම්බන්ධ අන්තර්ජාතික පදනම් බිලියන ගණනින් මුදල් ලබාදුන්නා සාර්ථක එන්නතක් නිපදවන්න. එහෙත් මේ අරමුදල් පෙනී සිටිය යුත්තේ සමාගම්වල ලාබය වෙනුවෙන් නොවෙයි, ජනතා සෞඛ්‍ය වෙනුවෙන්. මේ නිසා ලෝකයේ සෑම තරාතිරකම පුද්ගලයෙකුට සහනදායීව සහ පහසුවෙන් මෙම එන්නත් ලබාගැනීමට ඇති අයිතිය තහවුරු කිරීමේ වගකීමක් ලෝක සෞඛ්‍ය සංවිධානයට වැනි ආයතනවලට තියෙනවා.

දැනට ඉදිරියෙන් සිටින එන්නත් අතුරින් ප්‍රධානතම එන්නත් පහ සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය ලැබුණත්, ලෝක ජනගහණයෙන් තුනෙන් දෙකකට මේ එන්නත් ලබාගන්න වසර 2022 වන තෙක් බලා ඉන්න සිදුවේවි.

“ශතවර්ෂයක් තුළ උද්ගත වූ දරුණුතම සෞඛ්‍ය අර්බුදයේදී, එන්නත්වලට ආධාර ලබාදෙන්නන්, තමන් සතුව ඇති තාක්ෂණය බෙදා හදා ගන්නත්, ලෝකයට එන්නතක් නිපදවන්න ඉගැන්වීමටත් එම අවස්ථාව යොදා ගත යුතුයි”, ඇක්සස් ටු මෙඩිසින් සංවිධානයේ අධ්‍යක්ෂ පීටර් මුබාරක් පවසනවා. ගෝලීය එන්නත් වර්ණබේදවාදයක් ඇතිවීම වළක්වා ගත හැක්කේ එවිට පමනක් බව ඔහුගේ අදහසයි. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top