ඉරානයට එරෙහිව එක්සත් ජාතීන් විසින් පනවා තිබූ සාම්ප්‍රධායික අවි තහනම වොෂිංටනයේ දැඩි විරෝධය මධ්‍යයේ වුවද ඉරිදා දිනයේ ඉකුත්ව ගියේය. එහෙත් ඉරානය සමඟ අවි ගණුදෙනුවල නිරතවන ඕනෑම ආයතනයකට හෝ පුද්ගලයෙකුට එරෙහිව සම්බාධක පනවන බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අනතුරු අඟවයි.
වොෂිංටනයේ තර්ජන වලට තමන් කිසිසේත් බිය නොවන බව ඉරානය අවධාරණය කරයි. අන්තර්ජාතික එකඟතාවය පිළිබඳ රාමුව යටතේ තමන් කටයුතු කරන බව ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක සයීඩ් ඛටිබ්සාදේ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේය.
තම රටේ ආරක්ෂක අවශ්‍යතාවයන්ගෙන් 90% ක් රට තුළම නිෂ්පාදනය කිරීමේ හැකියාව ඉරානය සතුව ඇතැයි කී ඔහු අවි අපනයනයට වඩා ආනයනය කෙරෙහි තමන්ගේ වැඩි අවධානයක් යොමුව ඇති බව පෙන්වා දුන්නේය. තවද, තම රටේ ආරක්ෂාව පිළිබඳ මතවාදය තුළ සම්ප්‍රදායික නොවන අවි, සමූහ ඝාතක අවි සහ සාම්ප්‍රදායික අවි මහාපරිමාණයෙන් එක් රැස් කිරීමට කිසිදු ඉඩක් නැතැයි විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා
පවසයි.
ඉරානයට එරෙහිව වසර 13 ක් පුරාවට පැවති එක්සත් ජාතීන්ගේ අවි තහනම ඊයේ දිනයේ (18) ඉකුත්ව ගිය අතර ආරක්ෂක මණ්ඩලය තුළ එය යළි
පැනවීමට වොෂිංටනය අවස්ථා දෙකකදී දැරූ උත්සාහය ව්‍යර්ථ විය.