ලිබියාවේ අනාගතය පිළිබඳ සාකච්ඡා එළැඹෙන වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණය අධීක්ෂණය සඳහා අන්තර්වාර රජයක් නම් කිරීමකින් තොරව කල් තැබේ.

නමුත්, ලිබියාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ නියෝජිත ස්ටෙෆානී විලියම්ස් ඊයේ කියා සිටියේ තමා “ “සාකච්ඡාවල ප්‍රතිඵලය පිළිබඳව බෙහෙවින් සතුටුවන” බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන් ටියුනීසියාවේ ටියුනිස් අගනුවර පැවති සාකච්ඡාවලට නියෝජිතයෝ 75 දෙනෙක් සහභාගී වූහ. ලබන වසරේ දෙසැම්බර් මස 24 වන දින ලිබියාවේ පාර්ලිමේන්තු සහ මහ මැතිවරණ පැවැත්වීමට එහිදී එකඟතාවය පළවිය.
නියෝජිතයන් ලබන සතියේ අන්තර්ජාලය ඔස්සේ තම සාකච්ඡා ආරම්භ කරන බව පැවසූ එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය, ප්‍රතිසංස්කරණයට ලක් කෙරෙන ලිබියාවේ ආයතනික ව්‍යුහය සහ විධායක බලාධිකාරිය පිළිබඳව එහිදී අවධානය යොමු කෙරෙනු ඇතැයි කියා සිටියා ය.
මැතිවරණයට අදාළ ව්‍යවස්ථාමය පදනමක් සැකසීම කෙරෙහි ද සාකච්ඡාවල අවධානය යොමුවනු ඇත.
අමෙරිකා එක්සත් ජනපදයේ මුළිකත්වයෙන් යුත් නේටෝ හමුදා 2011 වසරේ ලිබියාවට සිදුකළ යුදමය මැදිහත්වීමේ ප්‍රතිඵලයක් ලෙස ලිබියාව තුළ බරපතල දේශපාලන අස්ථාවරත්වයක් පවතී. 2014 වසරේ පටන් රටේ පාලන බලතල ට්‍රිපොලි අගනුවර කේන්ද්‍ර කරගත් ජාතික ඒකාබද්ධතා රජය සහ නැගෙනහිරදිග මූලස්ථාන කොටගත් ලිබියානු ජාතික හමුදාව යන කණ්ඩායම් දෙක අතර බෙදී පවතී.
ජාතික ඒකාබද්ධතා රජය 2015 වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහායලත් දේශපාලන එකඟතාවයකින් බිහිවූ නමුත් නැගෙනහිරදිග කණ්ඩායම ඊට විරෝධය දක්වති. ජනරාල් කලීෆා හෆ්තාර්ගේ නායකත්වයෙන් යුත් ලිබියානු ජාතික හමුදාව ට්‍රිපොලි අගනුවර බලය අත්පත් කරගැනීමේ අරමුණින් ඉකුත් වසරේ දී මෙහෙයුමක් දියත් කළ නමුත්, තුර්කියේ සහාය මත පසුගිය ජූනි මාසයේ ඔවුන් පළවා හැරීමට ජාතික ඒකාබද්ධ රජයේ හමුදා සමත්විය.
ලිබියානු ජාතික හමුදාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය, රුසියාව සහ ඊජිප්තුව සහාය පළ කරයි.