2 + 2 සංවාදය සඳහා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ ආරක්ෂක ලේකම් මාක් එස්පර් අද පස්වරුවේ නවදිල්ලියට පැමිණියහ. සාකච්ඡා අඟහරුවාදා පැවැත්වේ.
තුන්වන එක්සත් ජනපද-ඉන්දියා 2 + 2 අමාත්‍ය සංවාදය මගින් පෙන්නුම් කෙරෙන්නේ හවුල් රාජ්‍ය තාන්ත්‍රික හා ආරක්ෂක අරමුණු සඳහා දෙරට ලබාදී ඇති ඉහළ මට්ටමේ කැපවීම බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රකාශ කළේය.
ඉන්දියාව බලා යාමට පෙර පොම්පියෝ ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ එක්සත් ජනපදයේ හවුල්කරුවන් සමඟ සම්බන්ධ වීමට අවස්ථාව ලැබීම ගැන තමා කෘතවේදී වන බවයි. “මම ඉන්දියාව, ශ්‍රී ලංකාව, මාලදිවයින සහ ඉන්දුනීසියාව යන රටවලට යාමට සුදානම්. ස්වාධීන, ශක්තිමත් සහ සමෘද්ධිමත් ජාතීන්ගෙන් සැදුම්ලත් නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් සඳහා පොදු දැක්මක් ප්‍රවර්ධනය කිරීම සඳහා අපගේ හවුල්කරුවන් සමඟ සම්බන්ධ වීමට අවස්ථාව ලැබීම ගැන කෘතවේදීත්වය පළකරනවා”.
දෙරටේ 2 + 2 සංවාදයේ තුන්වන වටයේ දී ඔවුන්ගේ උපායමාර්ගික හා ආරක්ෂක සබඳතා සමාලෝචනය කිරීමට සහ නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් සහතික කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට දෙරට ම සූදානමින් සිටී.
පසුගිය සතියේ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයකට අනුව කලාපීය ආරක්ෂක සහයෝගීතාව, ආරක්ෂක තොරතුරු හුවමාරුව, හමුදා අතර අන්තර්ක්‍රියා සහ ආරක්ෂක වෙළඳාම යන තේමාවන් හතරක් පිළිබඳව මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කෙරෙනු ඇත.
වසංගතය හේතුවෙන් බොහෝ රාජ්‍ය තාන්ත්‍රික රැස්වීම් සහ අන්තර්ක්‍රියා අන්තර්ජාලය හරහා සිදු කෙරෙන අවස්ථාවක, පොම්පියෝ සහ එස්පර් පුද්ගලිකව සංචාරයට එක්වීමේ වැදගත්කම දෙපාර්ශ්වයේම නිලධාරීන් පෙන්වා දී ඇති අතර, මෙය ඉන්දියාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර ඇති ශක්තිමත් සම්බන්ධතාවය පිළිබිඹු කිරීමක් බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.
2 + 2 සංවාදයට පෙර එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව කියා සිටියේ ඉන්දියාව කලාපයේ හා ගෝලීය වශයෙන් ප්රමුඛ බලවතෙකු ලෙස ඉදිරියට පැමිණීම සාදරයෙන් පිළිගන්නා බවයි. 2021 ජනවාරි 1 වන දින සිට එළඹෙන එක්සත් ජාතීන්ගේ ධුර කාලය තුළ ඉන්දියාව සමඟ සමීපව කටයුතු කිරීමට තමන් අපේක්ෂා කරන බව ද එහි සඳහන් ය.