ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුමට ආසියාවේ පළමු, දෙවන සහ සිව්වන ආර්ථික අත්වැල් බැඳගනිති

5fae48ce2030270d8f3e7459.jpg

චීනය සහ ජපානය ඇතුළු ආසියා-ශාන්තිකර ජාතීහු15 ක් එක්ව ලොව විශාලතම නිදහස් වෙළෙඳ සම්මුතියට මේ සතියේ අග අත්සන් තබති. මෙම නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ආනයනික බදු කපා හරමින්, සැපයුම් දාම ශක්තිමත් කිරීමටත්, විද්‍යුත් වෙළෙඳාම හා සම්බන්ධ නව වෙළෙඳ රීති හඳුන්වාදීමටත් නියමිතය.

අන්තර්ජාලය ඔස්සේ පැවැත්වෙන කලාපීය නිර්විස්තීර්ණ ආර්ථික පාර්ශවීකත්වය (The Regional Comprehensive Economic Partnership (RCEP) සමුළුවට වියට්නාමය සත්කාරකත්වය දක්වයි. ආසියාන් හෙවත් අග්නිදිග ආසියාතික ජාතීන්ගේ සම්මේලනයට අයත් රටවල් දහයක් – බෘනායි, කාම්බෝජය, ඉන්දුනීසියාව, ලාඔිසය, මලයාසියාව, මියැන්මාරය, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ වියට්නාමය – මෙන්ම, ඔවුන්ගේ වෙළෙඳ හවුල්කරුවන් ලෙස ඔස්ට්‍රේලියාව, චීනය, ජපානය, නව සීලන්තය සහ දකුණු කොරියාව ද මෙම ගිවිසුමේ සාමාජිකත්වය හොබවයි.

නව ආර්ථික එකමුතුවට ඒ අනුව ලොව දළ දේශීය නිෂ්පාදිතයෙන් සහ ලෝක ජනගහණයෙන් තුනෙන් එකක් නියෝජනය කරනු ඇත.

තවද ආසියාවේ විශාලතම, දෙවැනි විශාලතම සහ සිව්වැනි විශාලතම ආර්ථිකයන් වන චීනය, ජපානය සහ දකුණු කොරියාව යන රටවල් වෙළෙඳ හවුලක දී එකට එක්වන පළමු අවස්ථාව ද මෙය වනු ඇත.

මෙම ගිවිසුමේ ආරම්භක පාර්ශවකරුවකු වන ඉන්දියාව, ඉකුත් නොවැම්බර් මාසයේදී කියා සිටියේ තම වෙළෙඳ පොල විවර කිරීම තුළ චීනය සමඟ තම වෙළෙඳ පරතරය තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බැවින් තමන් මෙම සාකච්ඡාවලට සහභාගී නොවන බවයි.

“ලේ, දහඩිය සහ කඳුළු සමගින් වසර අටක් පුරාවට පැවති සාකච්ඡාවලින් පසු” කූටප්‍රාප්තියට ළඟාවූ මෙම ගිවිසුමට ඉරිදා දිනයේ අත්සන් තබන බව මලයාසියානු වෙළෙඳ අමාත්‍ය අස්මින් අලි වාර්තාකරුවන් හමුවේ කියා සිටියේ ය.

 2011 වසරේදී මුලින්ම යෝජනා කෙරුණු මෙම නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ වසර 20 තුළ ආනයන සඳහා අයකෙරෙන බදු 90% කින් කපා හැරීමට නියමිත අතර සම්මුතිය ලබන වසර මුලදී බලාත්මක වනු ඇත. විද්‍යුත් වෙළෙඳාම, වෙළෙඳාම සහ බුද්ධිමය දේපලවලට අදාළ පොදු රීති ඒ යටතේ හඳුන්වාදීමට ද නියමිත ය.

 වියට්නාමයේ හැනෝයිහි පැවති ආසියාන් ව්‍යාපාරික සහ ආයෝජන සමුළුව හමුවේ අදහස් දැක්වූ චීන අග්‍රාමාත්‍ය ලී කේකියාන් නැගෙනහිර ආසියානු නායකයන් මෙම ගිවිසුමට “කඩිනමින්” අත්සන් තබනු ඇතැයි කියා සිටියේ ය. “කලාපීය නිර්විස්තීර්ණ ආර්ථික පාර්ශවීකත්වය ගිවිසුමට අත්සන් තැබීම මගින් ආර්ථික ගෝලීයකරණය සහ කලාපීය අනුකලය ඉදිරියට රැගෙන යාම සඳහා පැහැදිලි, ශක්තිමත් සහ සුබදායී පණිවිඩයක් ලබා දෙනු ඇත”, චීන අගමැතිවරයා කියයි.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top