පාලන තන්ත්‍ර පෙරළා දැමීමේ බටහිර ව්‍යාපෘතියේ මීළඟ ගොදුර බෙලරුසය ද?

belarus-2.jpeg

අමෙරිකා එක්සත් ජනපදයේ මෙහෙයවීමෙන් ලෝකයේ තෝරාගත් කළාපවල සිදු‌කෙරෙන පාලන තන්ත්‍ර වෙනස්කිරීම් පිළිබඳ ඊයේ අවසන් කළ තැනින් මම අද පටන් ගන්න හිතුවා. විපක්ෂ උද්ඝෝෂකයන් මින්ස්ක් අගනුවර උද්ඝෝෂණ පවත්වමින් බෙලරුස්  පාලනය පෙරළා දැමීමේ උත්සාහයක නිරත වෙමින් සිටින අතර අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙන්ම ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් යන දෙදෙනාම බෙලරුසය පිළිබඳවත්, බෙලරුස් පාලන හා සම්බන්ධ අමෙරිකානු විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධවත් එකිනෙකට සමාන නිවේදන නිකුත් කරනවා.

 බෙලරුස් මැතිවරණයේදී දූෂණයක් සිදුවුනා ද, නැද්ද කියන කාරණය බටහිර ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඒ පිළිබඳව ඉදිරිපත් කරන ආඛ්‍යාන දිහා බලල නිගමණය කරන්න පුළුවන් කමක් නෑ. මින්ස් අගනුවරට රැස්වෙලා සිටින පිරිස් සංඛ්‍යාව දිහා බලන කොට, රටේ ජනමතය තියෙන්නේ කොතනද කියල හිතාගන්න අමාරු නෑ. රට රටවල ආණ්ඩු පෙරලන්න මහජනතාවට පාරට බස්සන එක ජනප්‍රිය උපාය මාර්ගයක්. මේව හඳුන්වන්නේ වර්ණ විප්ලව (color
revolutions )
කියල. සෝවියට් සංගමය බිඳ වැටුනට පස්සේ, යෙව්ගිනි බ්‍රෙසින්ස්කි ‘ගෝලීය බෝල්කානු කලාපය’ යනුවෙන් හඳුන්වා දුන් කලාපය ආශ්‍රිත පැරණි සෝවියට් ජනරජය ලෙසින් පැවති රටවල “ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රචලිත කිරීම”, සහ “නිදහස” කියන සටන් පාඨවලට මුවා වෙමින් බටහිර ආර්ථික සහ මූලෝපායික අරමුණු ඉටුකර ගැනිම සඳහා වොෂිංටනයට හිතවත් රූකඩ නායකයින් බලයට ගෙන ඒම මේ ව්‍යාපෘතියේ අරමුණ වුනේ. ඒ අනුව සර්බියාව, ජෝර්ජියාව, යුක්රේනය සහ කිර්ගිස්තානය යන රටවල විපක්ෂ ආධාරකරුවන්ට රාජ්‍ය නොවන සංවිධාන හරහා මුදල් ලබාදෙමින් ආණ්ඩු පෙරළීමේ කුමන්ත්‍රණ දියත් කළා. සර්බියාවේ ස්ලොබොදාන් මිලොසෙවිච්ව බලයෙන් නෙරපා හරින්න අමෙරිකාවේ බදුගෙවන්නන්ගේ මුදලින් ස්ප්‍රේ තීන්ත ටින් 5,000 ක් සහ සටනේ තේමාව බවට පත්වුනු “ඔහු අවසන්” කියන යෙදුම මුද්‍රණය කරපු පෝස්ටර් ලක්ෂ 25 ක් ගැහුවා. බෙලරුසයේ අපි මේ මොහොතේ දකින්නේත් පූර්වයෙන් මනාව සැළසුම් කරන ලද මෙවැනිම කුමන්ත්‍රණයක්.

 2015 අවුරුද්දේ බැරක් ඔබාමා අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාව සිටියදීත් ලුකෂෙන්කෝ මේ විදහටම මැතිවරණ ජයක් හිමිකරගත්තට පස්සේ රොන් පෝල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ඩැනියෙල් මැක් ඇඩම්ස්, වොෂිංටනය ලූකෂෙන්කෝ සහ බෙලාරුස් රජය කෙරෙහි දක්වන අප්‍රසාදය පිළිබඳව මෙහෙම සටහනක් තැබුවා:

 ලූකෂෙන්කෝ වසර ගණනාවක් තිස්සේ එක්සත් ජනපදයේ සහ බටහිර නවකොන්සර්වටිව්වාදීන්ගේ ප්‍රහාරයට ගොදුරුව ඇත්තේ බෝල්ටික් කලාසයේ නායකයන් හා සසඳන විට ඔහු බටහිර අධිපතීවාදීන්ට නිසි ගෞරවය නොදැක්වීම නිසාය. රට තුළ පාලන තන්ත්‍ර වෙනසක් කෙසේ හෝ අවුලුවාලීමේ අපේක්ෂාවෙන් අමෙරිකා එක්සත් ජනපද රජය ඩොලර් මිලියන ගණනක් විපක්ෂයට ලබාදුන් නමුත් ඔහු නැවත නැවත මැතිවරණය ජයග්‍රහණය කරයි.”

ට්‍රම්ප් පරිපාලනය හෝ වේවා බිඩෙන්ගේ දේශපාලන ව්‍යාපාරය හෝ වේවා, අමෙරිකා එක්සත් ජනපදය බෙලාරුස්වල ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කරන්න උත්සාහ කරනවා කියන්නේ පට්ටපල් බොරුවක්. මේක බලය හා සම්බන්ධ කාරණයක්. තමන්ට කිසියම් පාලන තන්ත්‍රයකින් වාසියක් අත්වන්නේ නම් අමෙරිකා එක්සත් ජනපදයට ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් කියන කාරණය කිසිසේත් අදාළ වන්නේ නෑ. හොඳම උදාහරණය සෞදි අරාබිය ප්‍රමුඛ ගල්ෆ් රාජාණ්ඩු සම්බන්ධයෙන් වොෂිංටනය කවරෙකු බලයේ සිටියත් ගෙන යන ප්‍රතිපත්තිය. ආඥාදායකත්වය? අමෙරිකාවට කිසිම ප්‍රශ්ණයක් නෑ. ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් පිළිබඳ කාරණය කියන්නේ යනු විදේශගතව වොෂිංටනයේ වුවමනා එපාකම් සපුරා ගැනීනම අවශ්‍ය මැදිහත්වීමට සහාය දැක්වීම හෝ අවම වශයෙන් විරුද්ධත්වය මැඩපැවැත්වීම සඳහා තෝරා බේරා ගනිමින් යොදා ගන්නා සම්ප්‍රචාරණ මෙවලමක් පමනයි.

පාලන තන්ත්‍ර පෙරළා දැමිමේ බටහිර ව්‍යාපෘතිය සහ බෙලරුසයේ වත්මන් තත්වය හා සම්බන්ධව මේ කතා බහේදී මතු කළ යුතු ප්‍රධාන කාරණා හතරක් තිබෙනවා :

පළමුවැන්නයුරේෂියානු භූ තැටිය මත භූ දේශපාලනය හා බැඳුණු කාරණයක්. ඒ තමයි, අදින් අඩ සියවසකට පමණ පෙර, 1990 පෙබරවාරි මාසයේදී එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජේම්ස් බේකර් සහ සෝවියට් නායක මිහායිල් ගොර්බචෙව් එක්සත් ජර්මනියක නේටෝවේ අනාගත භූමිකාව පිළිබඳව සාකච්ඡා කළා. බේකර් එහිදී ගොර්බචොව්ට ඉතා වැදගත් ප්‍රතිඥාවක් ලබාදුන්නා,  “නේටෝවේ බල සීමාව යුරෝපයේ නැගෙනහිර දෙසට අඟළක් හෝ රැගෙන නොයන” බව “. “නේටෝව කලාපයේ ව්‍යාප්තවීමට දරන ඕනෑම ප්‍රයත්නයක් පිළිගත නොහැකි” බවට ගොර්බචෙව්ගේ ප්‍රකාශයට ඔහු එහිදී එකඟ වුනා.

 නමුත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මෑතකදී චෝදනා කළා බටහිර නායකයන් මොස්කව් පාලනයට දුන් පොරොන්දු උල්ලංඝනය කරමින් සෝවියට් සංගමයේ නැගෙනහිර දෙසට ප්‍රසාරණය වීම සඳහා සමූහාණ්ඩුව බිඳවැටීමෙන් පසු ඇතිවූ රුසියානු දුර්වලතාවයෙන් ප්‍රයෝජන ගත් බව. කොරෝනා වෛස් ආසාදනය අස්සේ පහුගිය මාර්තු 27 වෙනිදා උතුරුදිග මැසිඩෝනියාවත් නේටෝවට ඈඳා ගත්තට පස්සේ දැන් එහි සාමාජික රටවල් සංඛ්‍යාව 30 ක්. යුක්රේනය සහ බෙලරුසිය තමයි රුසියානු දේශසීමාවට යාබදව තියෙන අවසන් ජනරජ දෙක නේටෝව විසින් ඩැහැගත යුතු. නේටෝවේ මේ ව්‍යාප්තවාදය රුසියානු දේශසීමාවට ලඟාවෙමින් මේ ව්‍යාපෘතිය දැන් තර්කානුකූල අවසානයක් කරා ළඟා වෙමින් පවතින තත්වයක් තුළ නේටෝව සහ රුසියාව අතර යුද ගැටුමක් දැන් අතර ළඟ. මේක උමතු යුද ව්‍යාපෘතියක්.

 දෙවැන්නමේ උද්ඝෝෂණ ව්‍යාපාර කෙතරම් දුරට ප්‍රජාතන්ත්‍රවාදී ද? රටක පාලන තන්ත්‍ර වෙනසක් සිදු කිරීමට අදාළ රටේ ජනගහණයෙන් කොපමණ ප්‍රතිශතක සහාය ඊට හිමිවිය යුතුදසීයට 70 ක්? 50.1% ක්? එරීකා චෙනොවෙත් කියන පර්යේෂිකාව ලෝකය පුරා ප්‍රචණ්ඩකාරී විප්ලව 200 ක් සහ අවිහිංසාවාදී විප්ලව 100 ක් පමන අධ්‍යයනය කිරීමෙන් අනතුරුව කෘතියක් රචනා කළා “Why Civil Resistance Works: The Strategic Logic of Nonviolent Conflict කියලා. එහිදී ඇය පෙන්වා දෙනවා රටක පාලන තන්ත්‍රයක් පෙරළා දමන්න යොදා ගත හැකි බලගතුම උපාය මාර්ගය ජනතාව නීතිවලට අවනත නොවන තැනකට රැගෙන ඒම කියල. එතෙන්දි පාලන තන්ත්‍රය පෙරළා දැමීමට පාරට ජනගහණයෙන් සියයට 3.5 ක් පාරට බැස්සවීම ප්‍රමාණවත් බව ඇය පෙන්වා දෙනවා. 

තුන්වෙනි කාරණයට මම තෝරා ගත්තේ හාවඩ් සරසවියේ අන්තර්ජාතික සබඳතා පිළිබඳ මහාචාර්ය ස්ටීවන් එම් වෝල්ට් ගෙන්. ඔහු අපූරු ප්‍රශ්ණක් අහනවා. ඒ තමයි, “වසංගතයක් මැඩපැවැත්වීම සඳහා මුහුණු ආවරණ පැළඳින ලෙසට තමන්ගේම පුරවැසියන්ට ඒත්තු ගැන්විය නොහැකි රටකට විදේශීය රජයන් පෙරළා දැමීමේ අයිතියක් නොමැති” බව. එලෙස විදේශ ආණ්ඩුවක් පෙරළා දැමීමේ අනිවාර්ය ප්‍රතිඵලය ලෙස ඊට පූර්වයෙන් පැවති කුමන හෝ දේශපාලන ආයතන පද්ධතිය විනාශයට පත්වන අතර පැරණි රෙජීමය බලයෙන් පහ කළ පසු රටක නීතිය හා සාමය පවත්වාගෙන යාමේ හැකියාවක් ඒ සමාජයට නොමැති බව ඔහු පෙන්වා දෙනවා. ඉරාකයට, ලිබියාවට සෝමාලියාවට සිද්ධ වුනේ මෙන්න මේකයි.

අවසාන වශයෙන්බෙලරුස උදාහරණය මගින් පසක් කරන, සුප්‍රකට භුදේශපාලන විශ්ලේෂක ඒඩ්‍රියන් සල්බූචි තුන් වෙනි ලෝකයේ අපි ව‌ගේ රටවල පාලකයන්ට ලබාදෙන උපදෙස් මාලාවක් සිව්වෙනි කාරණය හැටියට . ඔහු මූළික වශයෙන් කාරණා තුනක් අවධාරණය කරනවා: පළමුවැන්න, බටහිර රටවල් විශ්වාස කරන්න එපාය කියන එක. දෙවැන්න, හැම විටම බටහිර අධිපතිවාදී ක්‍රියාකලාපයට එරෙහි සටනේ දී චීනය, රුසියාව වැනි බලවත් රටක් ඇසුරු කරන්න කියන කාරණය. තෙවැනුව, වුවමනාවට වඩා බලයේ රැඳී සිටීමෙන් වළකින්න කියන කාරණය. සල්බූචිගේ හැදෑරීමට අනුව බැලුවොත් 1994 සිට පිට පිට හයවතාවක් ජනාධිපතිධුරයේ රැඳී සිටීම ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ නොකළ යුතුව තිබු දෙයක්. බෙලරුසයට මේ තරම් බටහිර පීඩනයක් එල්ල වෙන්න ප්‍රධානම හේතුව එය වන්නට පිළිවන්.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top