කැළඹිලි සහගත වසරක් – අර්බුදයෙන් ගොඩ ඒමට නම් ක්‍රමය වෙනස් කළ යුතුයි

after-how-many-kilometers-car-tyres-should-be-changed.jpg

මට මුලින්ම පත්තරේකට ලියන්න කියල හා හා පුරා කියල ආරාධනාවක් ලැබුණේ සිළුමිණ පුවත් පතේ එවකට කතුවරයාව සිටි කසුරි ගෙන් (කරුණාදාස සූරියආරච්චි). ඔහු සිළුමිණ ඉරිදා පුවත් පතේ මට කොලමක් වෙන් කරලා දුන්නා නිම්නැති සටහන් කියල. ඒ වගේම උදේ සිවුදෙස වැඩසටහන බලපු දිනපතා ලංකාදීප පුවත් පතේ කර්තෘ සිරි රණසිංහ මහත්මයා මට ආරාධනා කළා සතියකට වතාවක් ලෝක දේශපාලන විචාරයක් ලියන්න. නියමිත ඩෙඩ්ලයින් එකකට ලියන එක මට තරමක අමාරු දෙයක් වුනත්, නියමිත දිනයේ අවසන් කාලසීමාවට කළින් මට කථා කරල ලිපිය ඉල්ලන නිසා කොහොම හරි අන්තිම මොහොතේ ලිපියක් ටයිප් කරල යවන්න මම පුරුදුව සිටියා. ඒත් රූපවාහිනියේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා හැටියට වැඩ බාරගත්තට පස්සේ දැඩි අවිවේකීබව නිසාම පුවත්පත්වලට ලියන එක නතර වුනා. දැන් මම රාජකාරිය පැත්තෙන් විවේකීයි. ඒ නිසාම 2021 අවුරුද්දේ ඉඳල පුවත් පත්වලට කෙසේ වෙතත්, මගේ වෙබ් අඩවියේ “නිම්නැති සටහන්” කොලමට ලියන්න කල්පනා කළා.

 

 

2020 අවුරුද්ද අවසන් වුනේ පසුගිය දශක කිහිපය තුළ වඩාත් කරදරකාරී වසරක් ලෙස අපි හැමෝගේම හිත්වල මොනයම්ම හෝ පසුතැවීමක් ඉතිරි කරල. නව කොරෝනා වෛරසය විසින් රැගෙන ආ “වසංගතය” ලෝකය පුරා ජනතාවගේ දෛනික ජීවිතය වෙනස්කම් රැසකට භාජනය කළා. අපිට දැන් මේ වෛරසය විසින් ඇති කළ “නව සාමාන්‍ය තත්වය” එක්ක කටයුතු කරන්න සිද්ධවෙලා තියෙනවා. රෝගය පාලනය කරන්න හඳුන්වා දුන් භෞතික දුරස්ථභාවය, සෞඛ්‍ය පුරුදු, මුහුණු ආවරණ, දුරස්ථ අධ්‍යාපනය මුළුමහත් මානව සමාජයේම ගති පැවතුම් යළි හැඩගන්වන්න බලකර සිටියා. මේ වෙනකොට කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂ 17 පැනලා. රෝගීන්ගේ ගණන ලක්ෂ 78 ක්. වසංගතය විසින් ජනයා වීථි බැසීම සීමා කිරීම, පරිභෝජනය පහත බැසීම, ප්‍රවාහණ සේවා ඇණ හිටීම සහ අගුළුලෑම් නිසා ඇතිවූ ආර්ථික බලපෑම අති විශාලයි. මේ නිසා සමාගම් ගණනාවක් බංකොලොත්භාවයට පත් කරමින්, විරැකියාව සහ දිළිඳුකම ඉහළගොස් තිබෙනවා.

 

පොදුවේ ගත්තහම, මේ වසංගතය ලෝක ආර්ථිකයට කරපු ලොකුම බලපෑම තමයි ගෝලීය මට්ටමෙන් මධ්‍යම පංතිය වඳව යාමේ ක්‍රියාවලිය වේගවත් කිරීම. මේ නිසා ‍ලෝකයේ අතලොස්සක් බිලියනපතියන් සතු ආර්ථික බලය තවදුරටත් වර්ධනය වෙමින් පවතිනවා. මේක සාමාන්‍ය ජනතාව කබලෙන් ලිපට ඇද දැමීමක්. බැංකු පද්ධතියටත් අර්බුදයෙන් බේරී ඉන්න හැකි වුනේ නෑ. ඩොයිෂ් බැංකුව වගේ ප්‍රධාන මූල්‍ය ආයතන පවා මේ වන විට අර්බුදයේ ගොදුරු බවට පත්ව අවසන්. පොසිල ඉන්ධන සඳහා ඉල්ලුම සීඝ්‍රයෙන් පහත බැසීමත් එක්ක, තෙල් කර්මාන්තයටත් දැන් කණ කොකා හඬලා හඩලලා. මේ සා විශාල ගෝලීය අර්බුදයක් කළමණාකරණය කරගැනීමට සම්පත් නොමැතිකමින් ලෝකයේ මූල්‍ය ධනවාදය දැන් කඩා වැටෙන්න ආසන්නයි.

 

දැන් කළ යුතුව ඇත්තේ කුමක් ද? හැම බිඳ වැටීමක්ම අලුත් ආරම්භයකට මඟ කියාපානවා. විනාශයේ අලු දුහුවිලි මතින් දැන් අපට නව ආඛ්‍යානයක්, නව ව්‍යාපෘතියක් ගොඩ නඟා ගැනීමට කාලය එළැඹ තියෙනවා. පවත්නා ක්‍රමය බංකොලොත්භාවයට පත්ව ඇති මොහොතක, විකල්ප වැඩපිළිවෙලක අවශ්‍යතාවය මතුවෙලා. මාධ්‍යකරුවෙක් හැටියට මම දකින අන්දමට 2021 වසරේ පුළුල් වෙනසක් සඳහා අප විසින් ගත යුතු පියවර තුනක් තිබෙනවා.

 

පළමුව, අර්බුදයෙන් ගොඩ ඒමට නම් අතලොස්සකට පමනක් සෙත සැළසෙන මේ ධනේෂ්වර නව ලිබරල්වාදී ආර්ථික මොඩලය වෙනුවට ප්‍රධාන වශයෙන්ම පාරිසරික අර්බුදය ඇතුළු ලෝකය මුහුණ දෙන ගෝලීය අර්බුද විසඳීමට ප්‍රමුඛත්වය දෙන නව ආර්ථික මොඩලයක් නිර්මාණය කරගත යුතුයි.

 

දෙවැන්න, අප ගමන් කරන දිශානතියේ වෙනසක් එනම්, ආර්ථික ක්‍රියාකාරීත්වය ගෝලීයකරණය කරනු වෙනුවට ප්‍රාදේශීයකරණයට ලක්කළ හැකි වැඩපිළිවෙලක් සකස් කර ගත යුතුයි. මෙය නිර්-කේන්ද්‍රීයකරණ වැඩපිළිවෙලක්. අතලොස්සක් සමාගම් අතට ආර්ථික ක්‍රියාකාරීත්වය පවරා දෙන සමාගම් ගෝලීයකරණ වැඩපිළිවෙලට විකල්පයක් ලෙස ප්‍රාදේශීය ව්‍යාපාර, ගොවිපොල, වගාබිම් අතට ආර්ථික ක්‍රියාකාරීත්වය සංකේන්ද්‍රණය කළ යුතුයි.

 

තෙවැන්න, අප සමාජය වෙලාගත් මේ දේශපාලන ක්‍රියාවලිය නිර්දේශපාලනීකරණයට ලක් කිරීමයි. ලෝකය පුරාම පවත්නා දේශපාලන ක්‍රමය පිළිබඳ පවත්නා විශ්වාසය සීඝ්‍රයෙන් බිඳ වැටීමේ ප්‍රවණතාවයක් දකින්නට පිළිවන්. නිර්දේශපාලනීකරණය කියන්නේ පාර්ලිමේන්තුව ගලවා දැමීම නෙවෙයි. දේශපාලකයන්ට ජන ජීවිතයට අදාළ සියළු තීරණ ගැනීමට අයිතිය ලබා දෙන ක්‍රමය වෙනස් කළ යුතුයි.

 

ප.ලි.

තුන් වැනි කරුණ අපගේ වත්මන් ශ්‍රී ලාංකීය සංදර්භයට ආදේශ කළහොත් පාර්ලිමේන්තු නියෝජනය සකස් කිරීම මීට වඩා ප්‍රජාතන්ත්‍රීයකරණයට ලක් විය යුතුයි. වියතුන් පාර්ලිමේන්තුවට යැවීම වැදගත්, ඒත් එම වියතුන් නියෝජනය කරන්නේ කාගේ වුවමනා එපාකම් ද? තරුණයින් පාර්ලිමේන්තුවට පත් කර යැවිය යුතුයි. ඒත් ඒ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සැබෑ ලෙසම පෙනී සිටින්නේ තරුණයන් වෙනුවෙන් ද? පාර්ලිමේන්තු‍ව තුළ කාන්තා නියෝජනය වැඩි කළ යුතුයි. ඒත් (එලෙස වැඩිවී නැහැ) එම කාන්තාවන් කාන්තා‍වන් වෙනුවෙන් හඬක් නැඟීමට සමත්ව ඇත් ද? රටේ පරිපාලන ව්‍යුහයට තවත් බරක් වන පලාත් සභා ක්‍රමය අහෝසි කිරීමත් මීටම ඇතුළත් වැදගත් කොන්දේසියක්.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top