ඉකුත් වසරේදී රට තුළ පැන නැඟුණු විරෝධතා සහ කැරළි මධ්‍යයේ රටින් පලා ගිය බොලීවියාවේ හිටපු ජනාධිපති ඉවෝ මොරාලස් අද යළි තම මව් රටට පැමිණීමට සූදානම් වෙයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ පරාජය ඔහුගේ “බලහාත්කාරයෙන් මැදිහත්වීමේ” ප්‍රතිපත්ති ලද පරාජයක් බව ඔහු කියා සිටී.
සඳුදා දිනයේ තමන් “දේශසීමාව තරණය කරමින්” ආපසු බොලීවියාවට පැමිණෙන බව මොරාලස් පවසයි. “මට නීතිමය ගැටළු කිසිවක් නැහැ”, පැවසූ මොරාලස් “ආරක්ෂක හේතූන් මත” ආර්ජන්ටිනා ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් ද තමන් සමඟ පැමිණෙන බව ප්‍රකාශ කළේය. ෆර්නැන්ඩස් බොලීවියාවේ නව ජනාධිපතිවරයා ලෙසින් තේරී සිටින ලුවිස් ආර්කේ ගේ දිව්රුම්දීමේ උත්සවයට සහභාගීවීමට නියමිත ය.
ගොඩබිමින් වටවූ දකුණු අමෙරිකානු රාජ්‍යයක් වන බොලීවියාවට 2006 වසරේ සිට නායකත්වය දුන් මොරාලස්ට මැතිවරණ දූෂණ පිළිබඳ චෝදනා මධ්‍යයේ පැන නැඟුණු ජනතා විරෝධතා සහ කැරළි හමුවේ 2019 වසරේ නොවැම්බර් මාසයේ දී තම ධූරයෙන් ඉවත්වීමට සිදුවිය. ඔහු පළමුව මෙක්සිකෝවට ද ඉන් අනතුරුව ආර්ජන්ටිනාවට ද පළා ගියේ ය. තමන්ට එරෙහිව “ජාතික සහ අන්තර්ජාතික කැරැල්ලක්” සිදුවූ බවට ඔහු චෝදනා කරයි.
ඔක්තෝබර් මාසයේ පැවති මැතිවරණයෙන් මොරාලස්ගේ සමාජවාදය සඳහා වූ ව්‍යාපාරය නමැති පක්ෂය මෙන්ම තම හිතවතෙකු වන ආර්කේ ලබාගත් ජයග්‍රහණයත් සමඟ මෙම දේශපාලනඥයාට යළි තම රටට පැමිණීමට අවස්ථාව උදාවී තිබේ. “මා හට රැකවරණ සැළසීමට ඉදිරිපත් වූ ආර්ජන්ටිනාවේ ජනතාවටත්, ජනාධිපති ෆර්නැන්ඩස්ටත්” බෙහෙවින් ස්තුතිවන්ත වන බව මොරාලස් සෙනසුරාදා දිනයේ කියා සිටියේ ය.
