අමෙරිකානු ජනාධිපතිවරණය සහ දේශගුණික අර්බුදය

http___com.ft_.imagepublish.upp-prod-us.s3.amazonaws.jpg

දේශගුණික අර්බුදය හෙට පැවැත්වෙන අමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණ සටනේදී පමණක් නොවෙයි, ලොවු පුරා සෑම කෙනෙකුටම එක හා සමානව බලපාන කාරණයක්. මේ සටනේ ජයග්‍රාහකයා කවරෙකු වුනත්, ඉදිරි වසර හතරක කාලය තුළ ඔහු ගන්නා තීන්දු තීරණ දේශගුණික විපර්යාසයෙන් එල්ලවන අනර්ථකාරී බලපෑම් පිටුදකින්න ලෝකය දරන උත්සාහයට දැඩි බලපෑමක් ඇති කරන බව විද්‍යාඥයන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, ක්‍රියාකාරීන් සහ මාධ්‍යකරුවන් මේ සියල්ල පොදුවේ එකඟවන කරුණක්.

 

මේකට හේතු දෙකක් තියෙනවා: පළමුවැන්න තමයි, අපි කැමති හෝ වේවා අකමැති හෝ වේවා, බොහෝ රටවල් දේශගුණික අර්බුදය වැනි ගැටළුවලදී අමෙරිකානු ප්‍රතිපත්තිය දිහා බලල තමයි තීරණ ගන්න නැඹුරුවෙලා ඉන්නේ. මේ නිසාම බොහෝ රටවල දේශගුණික ප්‍රතිපත්තියට බලපෑම් කිරීමේ ලීවරේජ් එකක් වොෂිංටනයට තියෙනවා.

දෙවැන්න තමයි, අමෙරිකා එක්සත් ජනපදය තමයි චීනයට පස්සේ ලෝකයේ දෙවැනි විශාලතම පරිසර දූෂකයා. මේ නිසාම දේශගුණික අර්බුදයට විසඳුමක් සෙවීමේ සදාචාරාත්මක වගකීමක් අමෙරිකාවට තියෙනවා.

මේ නිසා පරිසරයට ඇළුම් කරන, තෙල් සමාගම්වල වුවමනා එපාකම්වලට වඩා දේශගුණික විපර්යාසය පිටුදැකීමේ සටනට මුල් තැන දෙන, අමෙරිකානු නායකයෙකු දකින්න ලෝකය කැමතියි. ඒත් අමෙරිකාවේ තිබෙන ද්විපක්ෂ ක්‍රමය ඇතුළේ, සහ මැතිවරණ ව්‍යාපාරවලට පරිසර දූෂක සමාගම් දක්වන මූල්‍ය අනුග්‍රහය සැළකිල්ලට ගත්විට එවැනි වෙනසක් අමෙරිකානු නායකත්වයෙන් බලාපොරොත්තු විය හැකිය ද යන්න වෙනම කාරණයක්.

ජනාධිපති ට්‍රම්ප්, ඔහුගේ වත්මන් පාලනය තුළ, රටේ දේශගුණික නියාමන සහ ප්‍රතිපත්ති තුට්ටු දෙකට මායිම් කළේ නෑ. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ පූර්වප්‍රාප්තිකයාගේ පාලන කාලය තුළ ඇතිකරගත්, මිහිතලය භයානක ලෙස රත්වීමට භාජනයවීම වළක්වා ගැනීමට අදාළ ඓතිහාසික පැරිස් දේශගුණික සම්මුතියෙන් ඔහු ඒකපාර්ශවිකව ඉවත්ව ගියා. අනෙක, ඩොනල් ට්‍රම්ප් ‍කියන්නේ දේශගුණික විපර්යාසයට මුල්වන කාරණා සම්බන්ධයෙන් සැක පළ කරන අයෙක්.

සිකුරාදා පැවැත්වුනු අවසන් ජනාධිපතිවරණ විවාදයේදී ට්‍රම්ප් කීවා අමෙරිකාවේ තමයි ලෝකයේ “හොඳම වාතය” සහ “පිරිසිදුම ජලය” තියෙන්නේ කියලා. ඔහු ඉන්දියාවට සහ චීනයට චෝදනා කරා “මළ ජරාව” කියල.

ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂක හිටපු උප ජනාධිපති ජෝ බයිඩන් එම විවාදයේදිම කීවා “‍ගෝලීය උණුසුම මානව වර්ගයාට පැවැත්ම පිළිබඳ තර්ජනයක් වන අතර ඊට එරෙහිව ක්‍රියා කිරීමේ බැඳීමක් අපට තිබේ" කියල.

බිඩෙන්ගේ අදහස් විද්‍යාඥයන් මේ පිළිබඳ දරන ස්ථාවරයේ ප්‍රතිරාවයක්. මිහිකත උණුසුම ඉහළයාමට සමස්බන්ධ ප්‍රධානතම චූදිතයා වන ගෝලීය කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය මානව ඉතිහාසයේ අන් කරව කලකටත් වඩා ඉහළ මට්ටමක පවතිනවා.

දේශගුණික විපර්යාසයන් එල්ලවන සියලු බලපෑම් නවත්වන්න අපි දැනටමත් ප්‍රමාද වැඩියි. ඒවා දැනටමත් අපේ ඇස් පනාපිට දිගහැරෙමින් පවතිනවා. බටහිර අමෙරිකා එක්සත් ජනපදය පුරා ලැව්ගිනිවලින් නිවාස රැසක් දැවී අළු වුනාපෙර නොවූ විරූ ආකාරයේ ගංවතුර තර්ජනවලින් ආසියාවේ විශාල භූමි ප්‍රදේශයක් ජලයෙන් යටවුනා, පසුගිය දශකය තුළ – මාරාන්තික තාප තරංග හා නියඟයන් ද ඇතුළුව – මෙතෙක් වාර්තා වූ උණුසුම්ම කාළගුණික තත්වයන් වාර්තා වුනා. අපේ මිහිතලය මත ජීවයක පැවැත්මට සුදුසු උෂ්ණත්වයක් පවත්වාගෙන යාමට මහෝපකාරීවන ධ්‍රැව ප්‍රදේශවල අයිස් තට්ටු ද වේගයෙන් නැතිව යමින් සහ ග්ලැසියර දියව යමින් පවතිනවා.

228,000 කට වැඩි පිරිසක් මියගොස් මිලියන 8.9 ක ජනතාවක් ආසාදනය කර ඇති කොවිඩ් – 19 වසංගතය මගින් කියාපාන්නේ කුමක් ද? ට්‍රම්ප් පාලනය විද්‍යාවට වගේම දශක ගණනාවක් තිස්සේ ‍සිදුකෙරුණු විද්‍යාත්මක පර්යේෂණවලට සතුරු බව නොවෙයිද?

පැරිස් ගිවිසුම2016 අවුරුද්දේ ලෝකයේ සියලුම රටවල් එකට එක්ම අත්සන් කළ ගිවිසුමක්. ගෝලීය උණුසුම පූර්ව කාර්මික අවදියේ පැවති මට්ටමට වඩා සෙල්සියස් අංශක  2 ° ට වඩා අඩු කිරීමටත් හැකිනම් එය සෙල්සියස් අංශක 1.5 දක්වා සීමා කිරීමටත් අන්තර්ජාතික ප්‍රජාව ප්‍රතිඥාවක් ලබාදී තිබෙනවා. මේ ඉල්ලකය සපුරා ගන්න නම් සෑම රටක්ම වසර  2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචන කරා ළඟා විය යුතුය.

ගිවිසුමෙන් ඉවත් වන බව ට්‍රම්ප් 2017 ජුනි මාසයේදී නිවේදනය කළාම වොෂිංටනය ඒකෙන් ලෝකයට ලබාදුන් පණිවුඩය මොකක් ද? දේශගුණික විපර්යාසයන්ට එරෙහි ගෝලීය සටනට ඇමරිකාව තවදුරටත් නායකත්වය නොදෙන බව නොවෙයිද? මේ ඊනියා “ට්‍රම්ප් ආචරණය" අනෙකුත් රටවලට ඔවුන්ගේ දේශගුණික බැඳීම් ප්‍රතික්ෂේප කිරීම පහසු කර ඇති බව අධ්‍යයනවලින් හෙළිවෙලා තියෙනවා.

පැරිස් ගිවිසුමේ කොටසක් ලෙස ධනවත් රටවල් සංවර්ධනය වෙමින් පවතින රටවල දේශගුණික අරමුදල් සඳහා වසරකට ඩොලර් බිලියන 100 ක් ලබාදීමට ප්‍රතිඥාදී තිබෙනවා. ට්‍රම්ප් තමන්ගේ නායකත්වය යටතේ එක්සත් ජනපදය මේ මුදල් ලබාදීම සිදු නොකරන බව කියන්නේ.

ඒත් මේ සියල්ලෙන් අදහස් වන්නේ නෑ එක්සත් ජනපදය හුදෙක් පැරිස් ගිවිසුමේ කොටසක් වීම නිසා ලෝකය භයානක දේශගුණික විපර්යාසයන් වළක්වා ගන්න සමත්වෙයි කියලා.

ගිවිසුමට අත්සන් කරලා තියෙන බොහෝ රටවල් දේශගුණික අරමුණු ඉටුකරගැනීමේ දී බොහොම නිද්‍රාශීලී ක්‍රියාපිළිවෙතක් අනුගමනය කරන්නේ. මේ රටවල් ඉන්නේ අදාළ ඉලක්ක සපුරා ගැනීමෙදී බොහෝ පසුපසින්. 2020 දී තමන්ගේ බැඳීම් යාවත්කාලීන කරල තියෙන්නේ රටවල් අතලොස්සක් පමනයි. යුරෝපා සංගමය වගේ විශාල පරිසර දූෂකයන්ට ගිවිසුමට අනුකූල වීමට අවශ්‍ය නම් වඩාත් අභිලාෂකාමී ඉලක්ක ඔවුන් තබාගත යුතු වනවා.

පැරිස් ගිවිසුම යටතේ ඉදිරිපත් කර ඇති වර්තමාන ඉලක්කවලට පමනක් ආණ්ඩු ඇලී සිටිනවා නම්සියවස අවසන් වන විට ලෝකය සෙල්සියස් අංශක 2.7 කින් උණුසුම් වන්නට පිළිවන්. ඒකේ ප්‍රතිඵලය කුමක්ද? වඩාත් දරුණු කුණාටුතාප තරංගමුහුදු මට්ටම ඉහළ යාම සහලෝකයේ බොහෝ රටවලට නියඟය සහ වර්ෂාපතනය දරුණු වන්න ඉඩ තියෙනවා.

සූර්ය බලශක්තිය වගේ පුනර්ජනනීය බලශක්තියේ මිල දැන් ගල් අඟුරු මිලට වඩා බොහෝ ලාභදායී වන අතර විදුලි වාහන දැරිය හැකි මිලකට අඩුවෙමින් තිබෙනවා.

පොසිල ඉන්ධන භූමියේ තබා ගැනීමවායු විමෝචනය අඩු කිරීම සහ ගල් අඟුරු සහ තෙල් සඳහා සහනාධාර නැවැත්වීම මෙන්ම පුනර්ජනනීය බලශක්තිය භාවිතය වේගවත් කිරීම දේශගුණික විපත් සීමා කිරීමට සහ කොරොන වයිරස් වසංගතයට වඩා දරුණු ලෙස ආර්ථික බලපෑම් වළක්වා ගැනීමට අත්‍යවශ්‍යයයි”, එක්සත් ජාතීගේ සංවිධානයේ බෙලිස් රාජ්‍යයේ තානාපති ලුවිස් යංග් පවසනවා.  

මෙය සාක්ෂාත් කර ගැනීමට නම් එක්සත් ජනපදය වගවිය යුතු ය. යන්ග් කියන විදිහට: “කොවිඩ් ජය ගන්න පුළුවන්ඒත් අපට ඇමරිකානු නායකත්වයක් නොමැතිව දේශගුණික අර්බුදය ජය ගත නොහැකියි."

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top