මිලියන 9 ක වෙනිසුවෙලානු වැසියන් පිරිසක් ආහාර හිඟයකට මුහුණපා සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරන අතර, අමෙරිකා එක්සත් ජනපදය කරකස් පාලනයට එරෙහිව ගෙන යන සම්බාධක කිසිසේත් අමතක කළ නොහැක.
වෙනිසුවෙලාවේ ආර්ථිකය කඩාවැටීමට ආසන්න තත්වයක පවතී. අමෙරිකා එක්සත් ජනපදය රටේ පාලන තන්ත්ර වෙනසක් සිදුකිරීමේ අරමුණින් තව තවත් වෙනිසුවෙලාවේ ගෙල සිරකරමින් සිටී. තෙල් මිල කඩාවැටී ඇති අතර, කොවිඩ් – 19 වසංගතයෙන් ලෝක ආර්ථිකයට අතිමහත් බලපෑමක් එල්ලවී තිබේ.
ඒ සමඟ වෙනිසුවෙලාව ලොව වඩාත් දරුණුතම ආහාර හිඟයකට මුහුණපා සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය මෑතකදී නිකුත් කළ වාර්තාවක දැක්වේ. රටේ ජනගහණයෙන් තුනෙන් එකක් (එනම් මිලියන 9.3 ක පිරිසක්) ආහාර හිඟයකට මුහුණපා ඇතැයි එම වාර්තාව පෙන්වා දෙයි. පෝෂණ ඌණතාවය හේතුවෙන් වෙනිසුවෙලානු දරුවන්ගෙන් 13% කගේ වැඩීම ඇණ හිට ඇත.
රටේ ආහාර අවශ්‍යතාවයෙන් 85% ක්ම ආනයනික ආහාර මත රඳා පවතින සහ තෙල් නිෂ්පාදනය මුළුමනින්ම පාහේ ඇණ හිට පවතින තත්වයක් තුළ වෙනිසුවෙලාව දරුණු අර්බුදයක් අබියසට පැමිණ සිටී. මෙම තත්වයට වගකිව යුත්තේ කවුරුන්ද?
වෙනිසුවෙලාවේ ආර්ථිකය කඩාවැටීමට අමෙරිකා එක්සත් ජනපදය විසින් පනවන ලද සම්බාධක මෙන්ම රටේ ආර්ථිකය නිසි ලෙස කළමණාකරණය නොකිරීමද එක ලෙස හේතුවී තිබේ. රටේ ආර්ථිකයෙන් සියයට 95 ක්ම තෙල් නිෂ්පාදනය සහ අපනයනය මත රඳා පැවත්ම අර්බුදය වඩාත් තීව්රවීමට බලපා ඇත. ට්‍රම්ප් පාලන විසින් අනුගත “නව-මොන්රෝයි ඩොක්ට්රීනය” – එනම් බටහිර අර්ධගෝලය මත කිසිවෙකුගේ අභියෝගයට ලක් නොවන තම අධිකාරී බලය පවත්වාගෙන යාමට වොෂිංටනය අනුගමණය කරන ක්‍රියා පිළිවෙත වෙනිසුවෙලාවේ ආර්ථිකයේ ගෙල සිරකරගනිමින් සිටී.
ලොවම වෙළාගත් කොවිඩ් – 19 වෛරස් ආසාදනය සහ එමගින් ඇති කළ ආර්ථික බලපෑම හමුවේ මනුෂ්‍යත්වයේ නාමයෙන් වෙනිසුවෙලාවට එරෙහි සම්බාධක ඉවත් කිරීමට අමෙරිකා එක්සත් ජනපදය ක්‍රියා කළ යුතුව ඇත. තම භූදේශපාලනික අභිලාෂයන් ඉටුකරගැනීමට රටක් විනාශ මුඛයට ඇද දැමීමේ බිහිසුණු ව්‍යාපෘති මනුෂ්‍යත්වයේ නාමයට කරන නිගරුවකි.
